Friday, March 29, 2024

General line - 0115112241

කැලණි ගෙඟ් මළ අපද්‍රව්‍ය පරීක්ෂණවලින් තහවුරු වෙයි




කැලණි ගෙඟ් පෝෂක ප‍්‍රදේශවලට මළ අපද්‍රව්‍ය එකතුවන බව විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය යටියන්තොට ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියක දැක්වෙන්නේ කැලණි ගෙඟ් ඉහළ සීමාවේ සිට ඉංගිරියාවත්ත දක්වා ස්ථාන 6කින් ලබාගත් ජල නියදි පරීක්ෂා කර මේ බව තහවුරු කරගත් බවයි.

කැලණි ගඟ ඉවුරේ හෝ කැලණි ගෙඟ් අතු ශාඛාවල ඉවුරට ආසන්නයේ වැසිකිළි වළවල් ඉදිකර ඇත්නම් ඒවා පරීක්ෂා කර කඩිනමින් සුදුසු කි‍්‍රයාමාර්ග ගත යුතු බවද මධ්‍යම පරිසර අධිකාරිය මෙයින් නිර්දේශ කර තිබෙනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් මානෙල් කුලරත්නගෙන් ද විමසීමක් කළා. ඇය කියා සිටියේ ප‍්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කඩිනමින් අදාළ පාර්ශ්ව එක් ස්ථානයකට කැඳවන බවයි.

සුදුසු විකල්පයක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද ඇය කියා සිටියා. ඒ අනුව මළඅපද්‍රව්‍ය පිරිපහදු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි එහිදී ඇය පෙන්වා දුන්නේ.

ස්ථාන කිහිපයකදී කැලණි ගඟට මළ අපද්‍රව්‍ය එක්වන බව නෙත් නිවුස් සහ නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනින් ද මීට පෙර අනාවරණ කෙරුණා.