Thursday, March 28, 2024

General line - 0115112241

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ගැන සාකච්ඡා




ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කරලීමට කඩිනමින් නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට අවශ්‍ය පියවර ගත යුතු බව දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් තීරණයකට එළැඹ තිබෙනවා.

ඒ, පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ පැවති සාකච්ඡාවකදීයි.

දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා විවිධ ක්ෂේත‍්‍රයන් අතර සමීපතාවක් නිර්මාණය කිරීම සඳහා පාකිස්තානයට පැමිණෙන ලෙස ද එරට අග‍්‍රාමාත්‍යවරයා රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනාවක් ද සිදුකළා.

දකුණු ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම මෙන්ම ආරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාවක් බවයි මෙහිදී දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් පෙන්වා දුන්නේ.

ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සහ දිළිඳුකම තුරන් කිරීම සම්බන්ධයෙන් මූලික භූමිකාවක් නිරූපණය කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ඔසවා තැබීමේ සැලැස්මක් සම්බන්ධයෙන්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

සාර්ක් සමුළුවේ අනාගතය සහ කලාපීය ගැටලු සාමකාමීව විසඳා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් අතර අදහස් හුවමාරු කර ගැනුණා.

PKP_9284 PKP_9295 PKP_9320