Thursday, April 25, 2024

General line - 0115112241

අද මහින්ද හමුවන මහඇමතිවරුන්ගේ බලාපොරොත්තුව




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් අතර හමුවක් අද (22) සිදු වනවා.

ඒ, හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

අද පෙරවරුවේ සිදු වීමට නියමිත මෙම හමුව සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය සඳහන් කළේ ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසි සහගත තත්ත්වයන් නැති කර ගැනීම සඳහා මෙම හමුවේදී සාකච්ඡා කෙරෙන බවයි. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් දෙකකට බෙදී ඇති බවත් එය පක්ෂයට අවාසිදායක බව සියලු මහඇමතිවරුන් විසින් අවබෝධ කරගෙන ඇති බවත් පැවසුවා.

කෙසේ වෙතත් ඊයේ (21) හම්බන්තොට දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ එම හමුව පිළිබඳ තමන් තොරතුරු නොදන්නා බවයි.

නෙත් නිවුස් මේ පිළිබඳව ද බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා. එහිදී ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ කිසිඳු නායකයෙකුගේ විරෝධතාවයක් නොමැති බවයි. කෙසේවෙතත් මෙම හමුව පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව දැනුවත් කර ඇති බවත් සඳහන් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරව පෞද්ගලිකව දැනුවත් කිරීමට නොහැකි වූ බවද පෙන්වා දුන්නා.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ද හිටපු ජනාධිපතිවරයා සමග අද පැවැත්වෙන හමුව පිළිබඳ කරුණු දැක්වූවා. එහිදී ඔහු සඳහන් කළේ පක්ෂයේ අනාගතය සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.