Thursday, April 25, 2024

General line - 0115112241

මැතිව්ස්ගේ පිති හරඹයෙන් ශ‍්‍රී ලංකාව දකුණු අප‍්‍රිකාවේ දී පළමු ජය ලබයි




නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පිති හරඹය හේතුවෙන් දකුණු අප‍්‍රිකාව සමග පැවති දෙවන පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගය කඩුලු 03කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) රාත‍්‍රියේ සමත් වුණා.

ජොහැන්නස්බර්ග් නුවර පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ලකුණු 113කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පන්දුවාර විස්ස ක‍්‍රිකට් වරම් දිනූ ලක්ෂාන් සඳකැන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 23කට කඩුලු හතරක් දවා ගත්තා.

සිය මංගල පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයකදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක්වූ ඉහළම දක්ෂතාව ලෙසටයි මෙය සැලකෙන්නේ.

ඉසුරු උදාන ලකුණු 13ට කඩුලු 03ක් දවා ගත්තා. ලකුණු 114ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රාහී සීමාව පසු කළේ ශ‍්‍රී ලංකා ඉණිමේ පන්දු දෙකක් ඉතිරිව තිබියදීයි.

බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව හතක්. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ ඉණිමක් ක‍්‍රීඩා කරමින් පන්දු පනහකදී ලකුණු 54ක් රැස් කළා.

මැතිව්ස්ගේ ඉණිමට හයේ පහර 03ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුණා. ලකුණක් කරා දිව යන අවස්ථාවේ දී මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වූවද එය නොතකා ඔහු කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීම ක‍්‍රිකට් විචාරකයින්ගේ දැඩි පැසසුමට ලක් වුණා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාරයේ දී ජයග‍්‍රහණය සඳහා ලකුණු 7 ක් රැස්කර ගත යුතුව තිබුණා.

20 වන පන්දුවාරයේ දෙවන පන්දුවේ දී සහ සිව්වන පන්දුවේ දී දැවැත්න හයේ පහර දෙකක් එල්ල කරමින් ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය අත්කර දුන්නා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ නායක ඇන්ජලෝ මැතිව්ස්. තරග 03කින් සමන්විත මෙම පන්දු වාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය මේ වනවිට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා.

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා තුන්වන සහ අවසන් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගය ලබන 25 වනදා කේප්ටවුන්හිදී පැවැත්වීමට නියමිතයි.

258237 258234 258230 258228 258224 258221 258217