Friday, March 29, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉතිහාසගත වන කරුණු 8ක් මෙන්න




අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් කරුණු 8ක් නිසා ඉතිහාසගත වන බව බී.බී.සී. ලෝක සේවය පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් වයසින් වැඩිම පුද්ගලයා වීම ඒවායින් පළමු කරුණයි.

ලබන ජුනි මස 14 වෙනිදාට ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වයස අවුරුදු 70ක් වනවා. මීට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් වයස්ගතම තැනැත්තා වූයේ රොනල් රේගන්. 1981දී අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට ඔහුගේ වයස අවුරුදු 69ක් වුණා.

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉතිහාසගත වන දෙවන කරුණ වන්නේ අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ධනයක් ඇතිව අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වූ පළමු පුද්ගලයා ලෙසයි.

ෆෝබ්ස් වාර්තාවන්ට අනුව ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 3යි දශම 7ක් ඉක්මවනවා.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන පරිදි ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 10ක්.

අමෙරිකාවේ ධනවත්ම කැබිනට් මණ්ඩලය පත්කිරීම නිසා ද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉතිහාසගත වන බව බී.බී.සී. ලෝක සේවය පවසනවා.

‘ක්වාටර්ස්’ වෙබ් අඩවියට අනුව මෙම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගේ මුළු වත්කම් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 35ක්.

අවම දේශපාලන අත්දැකීම් සහිතව ජනාධිපති ධුරයට පත්වීමද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉතිහාසගත වීමට තවත් කරුණක් ලෙස බී.බී.සී. ලෝක සේවය පෙන්වා දෙනවා.

ගතවූ වසර 60ක පමණ කාලයේදී අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ සියලුදෙනාම අවම වශයෙන් පළාත් ආණ්ඩුකාරවරයෙකු හෝ කොංග‍්‍රස් සභිකයෙකු ලෙසවත් අත්දැකීම් ලැබූ අයයි.

ප‍්‍රබල පවුල් සාමාජිකයින් සිටීම ද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉතිහාසගත වන තවත් කරුණක් බව බී.බී.සී. ලෝක සේවය පවසනවා.

සියවසකට අධික කාලයක් තුළ ධවල මන්දිරයට සුරතල් සතෙකු රැගෙන නොපැමිණි ජනාධිපතිවරයා ලෙසද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉතිහාසගත වනු ඇති.

නිදහස් වෙළෙඳාමට විරුද්ධව මත ප‍්‍රකාශ කිරීම ද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉතිහාසගත වන කරුණක් බව බී.බී.සී. ලෝක සේවය පවසනවා.

මීට පෙර අමෙරිකානු ජනාධිපති ධුරයට පත් බොහෝ දෙනා නිදහස් වෙළෙඳාම අගය කළ අයයි.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉතිහාසගත වන 8වන කරුණ ලෙස ඔහුගේ බිරිඳ පෙන්වා දී තිබෙනවා. උපතින් ඉංග‍්‍රීසි බස කතා නොකරන අමෙරිකාවේ පළමු ජනාධිපති ආර්යාව ඇයයි. ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට‍්‍රම්ප් වැඩිම භාෂා ගණනක් කතා කළ හැකි අමෙරිකානු ජනාධිපති ආර්යාව වන බවද බී.බී.සී. ලෝක සේවය පවසනවා.