Saturday, April 20, 2024

General line - 0115112241

“රවිගේ ප්‍රකාශය වැරදියි”




පසුගිය වසර අට ඇතුළත ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බඳුම්කර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඉල්ලා සිටි වාර්තාවක් කෝප් කමිටුවට ලබාදීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක තමන්ට කරන චෝදනා පදනම් විරහිත බවයි.

පසුගිය වසර අට ඇතුළත මහ බැංකුව විසින් සිදුකර ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක තමන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවයි විගණකාධිපති ගාමිණී විජේසිංහ පෙන්වා දෙන්නේ.

ඔහු අදාළ වාර්තාවේ පිටපත් කෝප් කමිටු සභාපතිවරයාට සහ මහ බැංකු අධිපතිවරයාට ද ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් එය විගණකාධිපතිවරයා තමන්ගේ බලතල ඉක්මවා යමින් කළ ක‍්‍රියාවක් බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.

එහෙත් රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ පෙන්වා දෙන්නේ තමන් සිදු කරන සියලු ක‍්‍රියා විනිවිදභාවයෙන් යුතුව සිදු කරන බවයි. මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රකාශය වැරදි සහගත බවත් ඔහු සඳහන් කළා.

මුදල් අමාත්‍යවරයා තමන්ගෙන් රහස්‍ය වාර්තාවක් ඉල්ලා නොසිටි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර නාරාහේන්පිට අභයාරාමයේ ඉකුත්දා පැවති උත්සවයක දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, වත්මන් විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ද අදහස් පල කළා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ඇතැම් පිරිසකගේ විවේචනයට ලක්ව ඇති විගණකාධිපතිවරයා පත් කරන ලද්දේ තමන් විසින් බවයි. ඔහු ඉතා අවංක දක්ෂ නිලධාරියෙක් බව රටම පිළිගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.