Friday, April 19, 2024

General line - 0115112241

සයිටම් තීන්දුව අදාළ නැති පිරිසකුත්




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉකුත් දා ලබාදුන් තීන්දුව අදාළ වන්නේ ඊට පාදක වූ පෙත්සමේ පෙත්සම්කරුවන්ට පමණක් බව නීතිවේදියෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා පවසනවා.

ඒ අනුව එම ආයතනයෙන් ඉගෙනුම ලැබූ සෙසු අයට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හෝ වෙනත් ප‍්‍රතිලාභ සෘජුව හිමි නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වෛද්‍ය උපාධිය පිරිනැමීමට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යානුකූල අයිතියක් තිබෙන බව අභියාචනාධිකරණය ඉකුත් දා තීන්දු කළා. ඒ අනුව පෙත්සම්කරුවන්ට වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචිය ලබාදෙන ලෙසයි වෛද්‍ය සභාවට නියෝග කෙරුණේ.

කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ මෙම තීන්දුව නිසා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සියලුදෙනාට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හිමිවේද නැතහොත් එම ප‍්‍රතිලාභය ලැබෙන්නේ පෙත්සම්කරුවන්ට පමණක්දැයි බොහෝ දෙනාට පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. නෙත් නිවුස් ඒ පිළිබඳ කළ විමසීමකදීයි ආචාර්ය ප‍්‍රතිභා මහනාම හේවා ඉහත අදහස් පළ කළේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “අභියාචනාධිකරණ තීන්දුවේ පැහැදිළිව සඳහන් වෙලා තියෙනවා..ඉහත කරුණු සළකා බැලූ අධිකරණය තීරණය කරන්නේ පෙත්සම්කාරිය විසින් පෙත්සමෙන් ඉල්ලා සිටින සහන ලබා දෙන්න.. කියාලා. ඒ අයිතිය තාවකාලිකව දෙන්න කියලයි කියලා තියෙන්නෙත්. කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ අනෙකුත් අය සම්බන්ධව.” යනුවෙනි.

අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව නැවත අභියාචනා කිරීමට වගඋත්තරකරුවන්ට අවස්ථාවක් තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එලෙස අභියාචනයක් කරන්නේ නම් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ යුතුයි. එසේ වුවහොත් පෙත්සම්කරුවන්ට වෛද්‍ය සභාවේ අදාළ ලියාපදිංචිය පිරිනැමීමට සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ද පසුව බව ආචාර්ය ප‍්‍රතිභා මහනාම හේවා කියා සිටියා.

මේ අතර අභියාචනාධිකරණය ලබාදුන් අදාළ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (02) රැස්වීමට නියමිතයි.

ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ එහිදී තීරණය කරන බව එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියා.