Wednesday, April 24, 2024

General line - 0115112241

තමිල්නාඩු නව මහ ඇමතිනිය දිවුරුම් දීම කල් යන ලකුණු




තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරිය ලෙස තෝරා ගැණුනු වී. කේ. ශෂිකලා එම ධුරයේ දිවුරුම් දීම අද දිනයේ සිදු නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් පසු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ ඕ. පන්නීර් සෙල්වම් ඉවත් කර ශෂිකලා එම තනතුරට පත් කිරීමට ඒ. අයි. ඒ. ඩී. එම්. කේ. පක්ෂය ඉකුත් ඉරිදා තීරණය කළා.

ඒ අනුව මදුරාසි විශ්ව විද්‍යාලයේ සියවස් ශාලාවේ දී ඇය අද පෙරවරුවේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට නියමිතව තිබුණා.

එහෙත් ඊයේ දිනයේ කළ දැනුම් දීම අනුව අද එම උත්සවයට සහභාගී විය නොහැකි බව තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රාවෝ ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන්. මතුව ඇති නෛතිකමය තත්වයන් ද ඊට හේතුවක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ජයලලිතාට සහ ඇයගේ සමීපතම හිතවතිය වූ ශෂිකලාට එරෙහි දූෂණ චෝදනා නඩුවක තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එතෙක් මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට ශෂිකලාට අවස්ථාව නොදෙන්නැයි ද ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණා.

පාලක භාරතීය ජනතා පක්ෂය ද තමිල්නාඩුවේ දේශපාලන වෙනස්වීම් පිළිබද නොසතුටෙන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.