Friday, April 26, 2024

General line - 0115112241

ටෙස්ට් නායකත්වය මා වඩාත් හොද පිතිකරුවෙකු කළා




 

ටෙස්ට්  නායකත්වය විසින් තමා වඩාත් හොද පිතිකරුවෙකු බවට පත්කර ඇතැයි ශ්‍රී ලංකාව සමග ඊයෙ පැවති තරගයේ වීරයා සම්මානය දිනාගත් දකුණු අප්‍රිකාවේ පෆ් ඩු ප්ලේසිස් පවසනවා.

ඔහු ඊයේ රැස්කළ ලකුණු 185 දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු එක්දින තරගයක රැස් කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ රාත්‍රියේ පැවති සිව්වන එක්දින කි්‍රකට් තරගයේදී තවත් වාර්තා කිහිපයක් ද බිහි වුණා. තරගයේදී කණ්ඩායම් දෙකම රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 694 ක්.

එය දකුණු අප්‍රිකාවේදී තරගයක් තුළ වාර්තා වූ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 327, දකුණු අපි්‍රකාවේදී හඹාගොස් පරාජය වූ තරගයක කිසියම් කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පළමු කඩුල්ල වෙනුවෙන් ඊයේ ලකුණු 139 ක සබදතාවක් ගොඩනැගුවා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් තරග 25 කට පසුව පළමු කඩුල්ලට ශතක සබදතාවක් ගොඩනැගූ පළමු අවස්ථාව මෙයයි.

ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලේ ලකුණු සියය වාර්තා කළේ පන්දුවාර 10 ක් තුළයි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලක් 2001 වසරින් පසුව මෙවැනි දස්කමක් දැක්වූ දෙවන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.