Friday, April 19, 2024

General line - 0115112241

අධ්‍යාපනයේ 'වැඩ ඇරඹු' හමුදාවේ මංජුල 




අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස මංජුල කාරියවසම් නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.

 

අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග  සඳහන් කළේ පසුගිය කාලයේ සිදුවූ වංචාකාරී සිදුවීම් වළක්වාලීමේ අරමිනින් මෙම පත්වීම සිදු කරන බවයි.

 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට පාසල් ක්‍රීඩාව නංවාලීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ වෙනුවෙන් පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්ද එළි දක්වා ඇත්තේ  පසුගිය සමයේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය අකර්මන්‍ය තත්වයක පැවති නිසා බවයි පැවසෙන්නේ.

 

පාසල් ක්‍රීඩා සංගම් හා අමාත්‍යාංශය අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් ගැටළු රැසක් ද නිර්මාණය වී තිබුණු බව පවසන අධ්‍යාපන අමාත්‍යංශය  ඇතැම් අවස්ථාවල පාසල්වල විනය පිරිහිමේ සිදුවීම් ද වාර්තා වූ බවයි පෙන්වා දෙන්නේ.

 

මේ  අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා ඉවත් කිරීමට අධ්‍යාපන ඇමැතිවරයාට දින හතක කාලයක් ලබා දෙන බව  ලංකා අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කර තිබෙනවා.

 

දින හතක් තුළ ඔහු ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන්ගේ  විධායක කමිටු රැස්වීමේදී තීරණය වී ඇති බවයි වාර්තා වුණේ.

 

කර්නල්වරයා ඉවත් කරන තුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා තරඟ සහ උත්සවවල කිසිදු රාජකාරියක් සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සහභාගී නොකරන බව ද  එම සංගමය පවසනවා.

 

අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දැක්වීමට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ද තීරණය කරනු ලැබුවා.

 

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කර්නල්වරයකු වන මංජුල කාරියවසම්, ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරත වන අතරම  අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට අනුයුක්තව රාජකාරි කටයුතු සිදු කරනු ඇති.

 

සිය පාසල් කාලය තුළ දී ජවන හා පිටිය ක්‍රීඩකයකු ලෙස පළාත් සහ ජාතික මට්ටමේ ශූරතා රැසක් දිනා ඇති ඔහු   වොලිබෝල් ක්‍රීඩකයකු ද වනවා.

 

1988 වසරේ දී දක්ෂතම පාසල් වොලිබෝල් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ඇති මංජුල කාරියවසම්  1987 වසරේ තායිලන්තයේ බැංකොක් නගරයේ දී පැවති කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායම ද නියෝජනය කර තිබෙනවා.

 

මීට අමතරව පාසල් ශිෂ්‍ය භටයෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු 1989 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1991 වසරේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවයට එක් වුණා.

 

2012/13 කාලයේ  ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙස්ලින් සංගමයේ ද ලේකම් ධූරය දැරූ මංජුල කාරියවසම් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ විවිධ ආයතනවල තනතුරු රාශියක කටයුතු කරමින් පරිපාලනය, පුහුණු කිරීම් සහ නායකත්වය පිළිබඳ අත්දැකීම් රැසක් ලබා ඇති නිලධාරියෙක් ද වනවා.