Thursday, April 18, 2024

General line - 0115112241

මාලිංග පැමිණෙයි - ශ්‍රී ලංකාව ජයක් ලබයි




ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායමට එරෙහිව අද (15) පැවති පන්දුවාර විස්සයි විස්සේ පුහුණු ක‍්‍රිකට් තරගය කඩුලූ 5කින් ජයගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා.

මෙම තරගය  විස්සයි විස්ස ක‍්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායමක් ක‍්‍රීඩා කළ පළමු අවස්ථාව ද වීම විශේෂත්වයක්. දෙරට අතර මිත‍්‍රත්වය නිරූපණය කිරීමේ සංකේතයක් ලෙස මෙවැනි තරගයක් සංවිධාන කළ බව ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය  මැල්කම් ටර්න්බුල් ප‍්‍රකාශ කළා. 

මෙම තරගය පැවැත්වුණේ ඔස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවර මනූකා  ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 169 ක් ලබාගත්තා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවකදී කඩුලූ 5 ක් දැවී ලකුණු 170යි.

නිරෝෂන් දික්වැල්ල සහ නායක උපුල් තරංග ලකුණු 47 බැගින් ලබාගත්තා. 

මෙම තරගයේදී වසරකට පමණ පසුව ලසිත් මාලිංග තරගකාරි ක්‍රිකට් පිටියට පිවිසි අතර ඔහු පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගත්තා. නියමිත පන්දුවාර 4 තුළදි ලකුණු 26 ට එක් කඩුල්ලක් මාලිංග දවා ගත්තා.

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පන්දුවාර විස්සයි විස්සේ ක‍්‍රිකට් තරග 3ක් මීළඟට පැවැත්වීමට නියමිතයි. පළමු තරගය අනිද්දා (17) පැවැත්වෙනවා.