Wednesday, April 24, 2024

General line - 0115112241

ෆේස්බුකියෙන් කෝටි ගණනක් මුදල් ගැරූ නයිජීරියානුවන් දහයක් අත්අඩංගුවට




මෙරට රැඳී සිටිමින් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් වංචා කළ බව කියන නයිජීරියානු ජාතිකයින් දස දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

විදේශ ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර නොමැතිව මෙම නයිජීරියානු ජාතිකයින් නවාතැන්ගෙන සිට ඇත්තේ දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවලයි.

මෙම නයිජීරියානුවන් සංවිධානාත්මක ලෙස ෆේස්බුක් ඔස්සේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් සමග සබඳතා ඇති කරගෙන ඔවුන්ගේ මුදල් වංචා කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඇතැම් පුද්ගලයින්ට විදේශ රැකියා සහ වීසා ලබාගැනීමට සහාය දෙන බව පවසමින් මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

ලද තොරතුරු අනුව නයිජීරියානුවන් දෙදෙනෙකු ගාල්ල උඩුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.