Saturday, April 20, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ නිවස ඉදිරිපිට රෝහලට ගිය රාජිත පුදුම වෙයි




කළමණාකරණය කර ගැනීමට අපහසු මුලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීමට තීරණය කළ යුතු කාලය එළඹ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

පළාත් සභා මගින් පාලනය වන මුලික රෝහල්වල පවතින විවිධ ගැටළු, සේවක පුරප්පාඩු, මූල්‍ය ගැටළු හේතුවෙන් මේ පිළිබඳ අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ. 

තංගල්ල මූලික රෝහලේ ඉදිකළ ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු එම රෝහලේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තංගල්ල මුලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වු සෞඛ්‍ය අමාත්‍යවරයා රැස්වීමේ දී වැඩිදුරටත් කියා සිටියේ රෝහල්වල එකතුවන සායනික හා අනෙකත් අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමණාකරණය කිරීමේ ව්‍යාපෘතියක් කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක බවයි. එය දේශීය සමාගමක් සිදු කරනු ලබන බවත් සඳහන් කළා. අනෙකුත් රෝහල් සදහා ඔස්ට්‍රේලියානු සමාගමක් එවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමට යෝජනා කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා  "හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය ගැන මම පුදුමයට පත්වුණා.. ජනාධිපතිවරයෙක්, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටපු හම්බන්තොට දිස්ත්‍රික්කයේ, රෝහල් සංවර්ධනය නොවීම කණගාටුදායක කරුණක්. එක තැනක සිට තීන්දු තීරණ ගෙන ව්‍යාපෘති සිදු කිරිම ඊට හේතුවයි. තංගල්ල මූලික රෝහල පිහිටා තිඛෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටයි. නමුත් රෝහලේ අඩුපාඩු රැසක් තිඛෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සියල්ල වත්මන් රජය සංවර්ධනය කරනවා. එම සංවර්ධන කටයුතු පිළිබඳව තීන්දු තීරණ රැසක් ගනු ලැබූ අතර, එහි අධීක්ෂණ වගකීම අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන අයට මම පවරනවා. සැළසුමක් නොමැතිව දේශපාලන තීන්දු මත තීරණ ගැනීම හේතුවෙන් මෙවැනි අර්බුද රෝහල්වල මතුව තිඛෙනවා.” යනුවෙන් සඳහන් කළා.

තංගල්ල මූලික රෝහල සඳහා මහල් 10 ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද මෙහිදී තීරණය කෙරුණා. මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, පළාත් සභා මන්ත්‍රීවරු, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, තංගල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි එරංගා යක්දෙහිගේ, ඇතුලු වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියා.