Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වේ - අසේල ගුණරත්න පිළිබඳව වැඩි අවධානයක්




මෙවර ඉන්දීය  ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය බැංග්ලෝ නුවරදී අද (20) පැවැත් වෙනවා. 

තෝරාගත් ක්‍රීඩකයින් 351 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු එක්ව සිටිනවා. 

මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේ වැඩි වටිනාකමක් හිමිව ඇති ක්‍රීඩකයින් 7 දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස්ද එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ සඳහා මැතිව්ස්ට ඉදිරිපත්ව ඇති ආරම්භක ලංසුව ඉන්දීය රුපියල් කෝටි දෙකක් වනවා.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 447ක්. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී  ලංකාවට විස්මිත ජයග්‍රහණයක් අත්කර දුන් අසේල ගුණරත්න පිළිබඳවද අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ. 

අසේල ගුණරත්නට වෙන්දේසියේදී ඉදිරිපත්ව ඇති ආරම්භක වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 30ක්.  දිනේෂ් චන්දිමාල්ට සහ තිසර පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 50ක ආරම්භක වටිනාකමක් හිමිව තිබෙනවා.

සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන්ද මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය එක්ව සිටින අතර ඔවුන්ට හිමිව ඇති ආරම්භක වටිනාකම වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක්.