Friday, March 29, 2024

General line - 0115112241

යාත්‍රා පෙළපාලි සඳහා අගරදගුරුගෙන් කමිටුවක්




කටුකුරුන්ද මුහුදු ප‍්‍රදේශයේදී ධීවර යාත‍්‍රාවක් පෙරළී ඉකුත් දා සිදුවූ අනතුරෙන් විපතට පත් සියලූදෙනාට සංවේගය පළ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

මෙම අනතුරෙන් මියගිය ගණන 12 දෙනෙක්. තවත් කිහිපදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. 

මුහුදේ පෙරළීමෙන් මෙලෙස අනතුරට ලක්වූයේ මගීන් රැගෙන යාත‍්‍රා කළ ධීවර යාත‍්‍රා පෙළකින් එකක්. බේරුවල බණ්ඩාරවත්ත ප‍්‍රදේශයේ දේවස්ථානයක පැවති මංගල්‍යයකින් පසු ඊට සහභාගිවූවන් මෙම යාත‍්‍රා පෙළෙහි ගමන් කර තිබෙනවා. 

දේව මංගල්‍යයන් සඳහා ධීවරයින් ඔවුන්ගේ යාත‍්‍රා සහ ධීවර ආම්පන්න ද රැගෙන සහභාගි වීම පාරම්පරිකව සිදුවන බවයි කාදිනල් හිමිපාණන් සිහිපත් කරන්නේ.

එවැනි අවස්ථාවලදී ආරක්ෂාව පිළිබඳ අවධානය ද ඇතැම් විට ගිලිහී යන බව උන්වහන්සේ පෙන්වා දෙනවා. ඒ අනුව  ඕනෑම අවස්ථාවකදී ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීතිරීති පිළිපැදීමට සියලූදෙනා මෙතැන් සිටවත් කටයුතු කළ යුතු බවයි පෙන්වා දුන්නේ.

යාත‍්‍රා පෙළපාළි සංවිධාන කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමටත්, ඊට අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීමටත් කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද කාදිනල් හිමිපාණන් කියා සිටියා.