Thursday, April 25, 2024

General line - 0115112241

වසර 400 ක් පැරණි විහාරයකට ජනපතිවරයෙකුගේ පළමු පැමිණීම




වසර හාරසීයක ඉතිහාසයකට හිමිකම් කියන පානදුර, කෙසෙල්වත්ත, ගොරකාන පුරාණ කන්දේ විහාරයේ ඉදිකෙරුණු නව කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් අද (21) පස්වරුවේ විවෘත කෙරුණා.

වසර 400 ක් පැරණි ගොරකාන පුරාණ කන්දේ විහාරය වෙත ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. 

ගොරකාන පුරාණ කන්දේ විහාරයේ විහාරාධිපති, පස්යොදුන් තුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය උඩුගම විමලකිත්ති නායක ස්වාමින් වහන්සේ ද එම අවස්ථාවට එක් ව සිටියා.

ඉන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

එමෙන්ම විහාරස්ථානයේ ඉදිකර තිඛෙන වාද්දුව සඟ පරපුරේ නිර්මාතෘ අතිපූජ්‍ය වාද්දුවේ ධම්මානන්දාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පිළිරුව නිරාවරණය කිරීම ද මේ හා සමගාමීව සිදු කෙරුණා.

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමින් වහන්සේ, මාළිගාකන්ද විද්යෝදය පරිවෙනාධිපති පූජ්‍ය බලන්ගොඩ සෝභිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, මංගල සමරවීර ඇතුථ මහජන නියෝජිතයින් පිරිසක් සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව පුණ්‍යෝත්සවයට එක්ව සිටියා.