Friday, March 29, 2024

General line - 0115112241

තරගාවලිය ජය ගත් සිංහයන්ට අවසන් තරගයේ ජය ගිළිහෙයි




තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගයේදී ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලබාදුන් ලකුණු 188ක ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 146 ක් පමණයි.

ඒ අනුව පළමු තරග දෙක ජය ගනිමින් තරගාවලියේ ජය හිමිකරගත් ශ්‍රී ලංකා පිළ අවසන් තරගය පරාජයට පත්වුණා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබාගත්තත් මැදපෙළ ක්‍රීඩකයින් අසාර්ථකවෙනු දක්නට ලැබුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර 20 දී කඩුලු 6ක් දැවී ලකුණු 187යි. ආරොන් ෆින්ච් සහ මයිකල් ක්ලින්ගර් ඔස්ටේ‍්‍රලියානු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක රැස් කළා. 

දසුන් ශානක ලකුණු 27කට කඩුලූ 2ක් බිඳහෙලු අතර ලසිත් මාලිංග ලකුණු 35කට කඩුලූ 2ක් බිඳහෙලූවා. ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ අවසන් පන්දුවාර දෙකේදී අවසන් කඩුලු 4 බිඳවැටුණේ ලකුණු 8ක් තුළ විම ද කැපීපෙනෙන සිද්ධියක්. 

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබාගැනීමට ඩිල්ෂාන් මුණවීර සහ උපුල් තරංග සමත් වුණා. පන්දුවාර 3යි පන්දු 3ක් තුළ ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගුවා. 
 

උපුල් තරංග දැවී ගියේ ලකුණු 14 ක් රැස්කරගෙන සිටියදීයි. ඩිල්ෂාන් මුණවීර ලකුණු 37කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 14කටත් දැවී ගියා.