Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ගිලිහේ - ESPNcricinfo සම්මාන උළෙලේදී සම්මාන බෙදී ගියේ මෙලෙසයි




ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් සම්මාන උළෙලේදී කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට සම්මාන දිනාගැනීමට හැකිවූයේ නැහැ.

ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත්කෙරුණු මෙම සම්මාන සදහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පස් දෙනෙකු නිර්දේශ වී තිබුණා. 

වසරේ විශිෂ්ටතම පන්දුවාර විස්ස ඉනිම ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රාත්වයිට් සම්මාන දිනාගත්තා. 

ඒ, පන්දුවාර විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ අවසන් පන්දු වාරයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 24ක් රැස්කළ ඉනිම හේතුවෙන්. 

හොඳම පන්දුවාර විස්ස පන්දු යැවීම ලෙස බංග්ලාදේශයේ මුස්ටර්ෆීසූර් රෙහෙමාන් සම්මාන දිනාගත්තා. 

ඒ, නවසීලන්තයට එරෙහිව ලකුණු 22කට කඩුලූ 5ක් බිඳහෙලු දක්ෂතාව අගයමින්. 

පන්දුවාර විස්ස තරගවල හොදම පන්දු යැවීම් අතරට ඉන්දියාවට එරෙහිව ලකුණු 29කට කඩුලූ 3ක් දවාගත් ශ්‍රී ලංකාවේ කසුන් රාජිතගේ දක්ෂතාව ද නිර්දේශ වී තිබුණා. 

වසරේ හොදම ටෙස්ට් ඉනිම ලෙස සම්මානයට පාත්‍ර වූයේ එංගලන්තයේ ඛෙන් ස්ටොක්. 

පන්දු 198කදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු රැස්කළ ලකුණු 258 ඊට හේතුවයි. හොදම ටෙස්ට් ඉනිම ලෙස කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 176 ද ඇතුළත් ව තිබුණා. 

එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඩ් හොදම ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත්තා. 

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 17කට කඩුලූ 6ක් දවාගනිමින් දැක්වූ දක්ෂතාව හේතුවෙන්. 

හොදම ටෙස්ට් පන්දු යැවීම ලෙස ඕස්ට්‍රේලියාවයට එරෙහිව කඩුලූ 5ක් දවාගත් රංගන හේරත් සහ කඩුලූ 6ක් බිඳහෙලු ඩිල්රුවන් පෙරේරාද නිර්දේශ වී තිබුණා. 

දකුණු අප්‍රිකාවේ ක්විටන් ඩි කොක් ඕස්ට්‍රේලියාවයට එරෙහිව රැස්කළ ලකුණු 178 සම්මානයට පාත්‍ර වුණේ වසරේ හොදම එක්දින ඉනිම ලෙසයි. 

වසරේ හොඳම එක්දින පන්දු යවන්නා වූයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 27කට කඩුලූ 6ක් බිඳහෙලු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සුනිල් නරේන්. 

හොදම එක්දින පන්දු යැවීම ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 18කට කඩුලූ 4ක් දවාගත් අමිල අපොන්සුගේ දක්ෂතාව ද නිර්දේශ වී තිබුණා. 

වසරේ විශිෂ්ටතම නායකයා ලෙස ඉන්දියාවේ විරාට් කෝලි සම්මාන දිනාගත්තා. මෙම සම්මාන සදහා පාදක කරගෙන තිබුණේ 2016 වසරේ ක්‍රිකට් පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතායි.