Saturday, April 20, 2024

General line - 0115112241

මාන්කුලමත් වැනසෙයිද?




උතුරේ අගනගරය ලෙස මාන්කුලම් නගරය සංවර්ධනය කිරීමට පනික්කන්කුලම් වන්නිවිලාන්කුලම් හා මාන්කුලම් යන වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 7200 කින් යුතු වනරක්ෂිත තුනක් හෙළිපෙහෙළි කරීමට සැළසුම් සකස් වී තිබෙනවා.

2011-2030 ජාතික භෞතික සැළැස්මට අනුව යෝජිත මාන්කුලම් සුවිශේෂි නගරයේ සමස්ථ අක්කර 7200 න් හෙක්ටයාර් 2320 ක් ජනතාව පදිංචි කරවීමටත් හෙක්ටයාර් 400 ක් කර්මාන්ත සඳහාත් හෙක්ටයාර් 160 ක් වාණිජ කටයුතු සඳහාත් හෙක්ටයාර 240 ක් කෘෂි කටයුතු සඳහාත් සැලසුම් කර තිබෙනවා. උතුරු පළාතේ මාන්කුලම් හැරුණු විට වවුනියාව, කිළිනොච්චි, මුලතිවු සහ යාපනය ආදී නගර මෙම නගර සංවර්ධන ව්‍යාපෘතියට යොදවා ගත හැකි වුවත් මින් සිදුවන්නේ මාන්කුලම් වනාන්තරය නිරපරාදේ විනාශ කර දැමීමකි.

උතුරු පළාතේ ඇති විශාලතම ජලාශය වන ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය වන මෙම ප්‍ර්‍රදේශය ජෛව විවිධත්වයෙන් යුත් කලාපයක් මෙන්ම විශේෂයෙන් අලි ගැවසුම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් ලංකාවේ සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් ප්‍රකාහයට පත් කළ උතුරු පළාත් ක්‍රමෝපායික පාරිසරික ඇගයීම් වාර්තාවට අනුව මෙම වනාන්තර ත්‍රිත්වය ආරක්ෂා කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.

මෙම අක්කර 7200 නිදහස් කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය  වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇතත් තවම ඒ සඳහා පවරාදීමක් සිදු වී නැහැ.

යම් යම් එකගතා පැවතුණත් ජාතික පාරිසරික ආරක්ෂක අඥා පනත, පුරාවස්තු ආඥා පනත ආදී නීති රීති නිසා මෙම කටයුත්තට එරෙහිවී තිබෙනවා.

එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කරනු ලබන පරිසර ශක්‍යතා අධ්‍යන වාර්තාවන්ද මෙම ව්‍යාපෘති සඳහා ලබාගෙන නැහැ. ශ්‍රී ලංකාවේ වන ගහණය තවත් වර්ධනය කළ යුතු යැයි දේශපාලන වේදිකාව තුළ ප්‍රබල මාතෘකාවක් බවට පත් වූවත් ප්‍රායෝගිකව සිදු වන්නේ සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක කරවීමට කියා වටිනා වනාන්තර විනාශ කර දැමීමයි.

විල්පත්තු වනවිනාශය පිළිබදව ඇති වු සමාජයේ අවධානය මාන්කුලම් වනාන්තර පද්ධතිය වෙතද යොමු වන්නේ නම් එය අනාගත පරපුරේ වාසනාවකි. මේ පිළිබඳ නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනෙන් අද (06) දිනයේ අනාවරණය කෙරුණා.