Thursday, April 18, 2024

General line - 0115112241

කටුනායක සංවර්ධනයෙන් පසු වාසි රැසක්




වසර 30 ක කාලයකට පසු ප්‍රතිසංවර්ධනය කෙරෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපළ ධාවන පථයේ ඉදිකරීම් ආස්තරණ කටයුතු 75% කින් නිමවී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා. 

මෙම තොරතුරු අනාවරණය වුයේ අද (06) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ධාවන පථයේ ඉදිරිකිරීම් ආස්තරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදීයි. 

වර්ෂ 1987 දී නිම කොට 2017 වර්ෂය දක්වා වු වසර 30 ක කාලයක් තුළ මෙම ධාවන පථයේ ලක්ෂ 09 කට ආසන්න ගුවන් මෙහෙයුම් කටයුතු (ගොඩබැස්සවීම් හා පිටවයාම්)  සිදු කර තිබෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතියට අනුව වසර 10 කට පසු ධාවන පථයක් යළි ආස්තරණය කළ යුතුව තිබුණත් විවිධ හේතුන් මත එම ආස්තරණ කටයුතු සිදු කර ගැනීමට නොහැකි වු අතර වත්මන් රජය විසින් ප්‍රමුඛස්ථානයක් ලබාදී මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු සිදු කිරීම කඩිනමින් ආරම්භ කර තිබුණා. 

පසුගිය ජනවාරි මස 06 වෙනි දින මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු ආරම්භ කළ අතර කඩිනම් හා සැලසුම් සහගත ප්‍රතිසංවර්ධන ක්‍රියාවලිය තුළ අප්‍රේල් 06 වෙනි දින වන විට ධාවන පථය සම්පුර්ණයෙන් ආස්තරණ කටයුතු අවසන් කොට ගුවන් මෙහෙයුම් සඳහා යළි භාරදිය හැකි බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විශ්වාසය පළ කරනවා.

මෙම ධාවන පථය සංවර්ධනය කිරීමට පෙර මීටර් 60 ක පළලකින් යුතු වු අතර, ධාවන පථය සංවර්ධනය කිරීමෙන් පසුව මීටර් 75 ක් දක්වා පුළුල් වන බවත්, ඒ අනුව අපහසුතාවයකින් තොරව A 380 ගුවන් යානා ගුවන්ගත කිරීමටත්, ගොඩබැස්සවීමටත් හැකිවන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

මෙම ධාවන පථයට අමතරව බැහැරුම් පථයද (Taxi Way) ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර ධාවන පථයේ නවීන විදුලි සංඥා පද්ධතියක්ද සවි කෙරෙන බවත්, ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලදී ඕනෑම දේශගුණික තත්ත්වයක් තුළ කිසිඳු බාධාවකින් තොරව ගුවන් යානා ගොඩබැස්සවීමට පහසුකම් සැලසිය හැකි බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා.

මෙම ඉදිකිරීම් කටයුතු චීනයේ කැතික් (CATIC) සමාගම විසින් සිදු කරන අතර දිනකට චීන සහ ශ්‍රී ලාංකික කම්කරුවන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදෙනු ඇති.