Friday, March 29, 2024

General line - 0115112241

භීෂණකාරී අපරාධ රැල්ලේ සුළමුල පොලිස්පති හෙළි කරයි




ඉතා ඉක්මනින් පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ලබාගෙන පාතාල කල්ලි මර්දනය කිරීමට පියවර ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර අද (06)  දහවල් වවුනියාවේදී  පැවසුවා.

පොලිස්පතිවරයා වවුනියාව පොලිස් සංකීර්ණයේ ඉදි කළ සාම චෛත්‍ය විවෘත කිරීම ඇතුළු වැඩසටහන් රැසකට සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී නෙත් නිවුස් සමග අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

පාතාල කල්ලි මර්දනය කිරීම නීත්‍යානුකූලව සිදු කරන බවත් ඒ සඳහා සුදු වැන්, කුළී කරුවන් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවන් අනුගමනය නොකරණ බවත් බුද්ධි වාර්තා සහ සාක්ෂි පමණක් පදනම් කරගනිමින් ඒවා ප්‍රයෝජනයට ගෙන කටයුතු සිදු කරන බවත් සඳහන් කළා.

රටේ අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වීමේ වැඩි බවක් දක්නට ලැබෙන බව විමසූ විට පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා කියා සිටියේ පසුගිය වර්ෂයේ සංඛ්‍යා ලේඛන සමග සසඳා බලන විට එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි.

නමුත් සිදුවන අපරාධවල භීෂණ තත්ත්වය වර්ධනයවීමක් පෙන්නුම් කරණ බව කී පොලිස්පතිවරයා එම භීෂණකාරී අපරාධවල නියැලෙන පුද්ගලයින් වැඩිවීම කෙරෙහි බලපාන සාධක රැසක් ඇති බවද සඳහන් කළා.

පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ද, ඔවුන්ගේ සඟවන ලද අවිආයුධ, සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයින්ද මෙම භීෂණකාරී අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කළා.

මහත් ආන්දෝලනයකට ලක්වූ නිලමේ නැමති පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී ද කිසිවෙකුගෙත් බලපෑමක් නොවූ බව පොලිස්පතිවරයා සඳහන් කළා.

ඇත්ත වශයෙන්ම නිලමේ යනු කවුරුන්දැයි විමසූ විට පොලිස්පතිවරයා කියා සිටියේ පොලීසියට එක් පුද්ගලයෙකු කිසි විටකත් වැදගත් නොවන බවයි.