Saturday, April 20, 2024

General line - 0115112241

උතුරේ එළවලු දඹුල්ලේ මිල බස්සයි




යාපනයේ වගා කරන එළවලු අස්වනු මේ දිනවල නෙළමින් පවතින අතර ඒවා බහුතරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමග සමස්ත එළවලු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටි ඇති බව ගොවින් හා වෙළඳුන් පවසනවා.

රටේ සෑම ප්‍රදේශයකම වගා කරන බොහෝ එළවලු වර්ග මේ දිනවල යාපනයෙන් දඹුල්ලට ලැබෙන බව වාර්තා වෙනවා.

නුවරඑළියේ වගා කරන කැරට්, ලීක්ස්, බීට්, මාලුමිරිස්, අර්තාපල්, බෝංචි ආදී එළවලු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වගා කරන මෑකරල්, වම්බටු, වට්ටක්කා, රතුළුණු, දඹල, කරවිල ආදී එළවලු වර්ගද යාපනයෙන් ලැබෙන බවයි වෙළෙන්දන් සඳහන් කරන්නේ.

අද (06) දින පස්වරුව වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා කිලෝවක් රු. 14 ත් 20 ත් අතර ද ලික්ස් කිලෝවක් රු. 14 ත් 20 ත් සහ කැරට් කිලෝවක් රු.15 ත් 30 ත් අතර මෙන්ම නෝකෝල්, රාබු, දඹල, ආදී එළවලු කිලෝවක් රු 10 සිට 20 දක්වා මිල ගණන් යටතේ පැවතිය ද අලෙවි නොවන තත්ත්වයක් පවතින බවද පැවසුවා.

ඉදිරි දින කිහිපයේද යාපනයෙන් විශාල වශයෙන් එළවලු තොග දඹුල්ලට ලැබීමට නියමිත බවද වෙළෙන්දන් සඳහන් කළා.