Friday, April 19, 2024

General line - 0115112241

"රවිදු වාස්ගේ මව හිස මත නැග මුහුණට පහර දුන්නා" - නිපුණ රාමනායක සාක්ෂි දෙමින් කියයි




මාලඹේ තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්‍ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී අද (07) ආරම්භ වුණා.

මෙම නඩුවේ චූදිතයන් වන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ බිරිද ශ්‍යාමලි පි‍්‍රයදර්ශනී පෙරේරා, ඔහුගේ පුත් රවිදු වාස් ගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරීන් පස් දෙනෙක්. 

චෝදනා පත‍්‍ර කියවා දුන් අවස්ථාවේ සියලු චූදිතයන් පැවසුවේ තමන්ට නගා ඇති චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බවයි. අනතුරුව මෙම නඩුවේ පළමු සාක්‍ෂිකරුවා ලෙස පහරදීමට ලක්වූ බව කියන නිපුණ රාමනායක නමැත්තා විවෘත අධිකරණයේදී සාක්‍ෂි ලබාදුන්නා.

ඔහු කියාසිටියේ 2009 වසරේ අගෝස්තු මස 9 වැනිදා රවිදු වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ජිප් රථයකින් පැමිණ දෑස් බැඳ තමන්ව පැහැර ගෙන ගිය බවයි.

ගිනිඅවිවලින් සහ පොලු මුගුරුවලින් ඔවුන් තමන්ට පහරදුන් බවද පසුව නිවසකට රැගෙන ගොස් ශ්‍යාමලී පි‍්‍රයදර්ශනී පෙරේරා නමැත්තියද තමන්ට පහරදුන් බව ද ඔහු පැවසුවා.

එහිදී ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ නිවසට රැගෙන ගොස් බිම පෙරලා පහර දෙන අවස්ථාවේදී රවිදු වාස්ගේ මව වන ශ්‍යාමලී පි‍්‍රයදර්ශනී පෙරේරා නමැත්තිය පැමිණ තමාගේ හිස මත නැග මුහුණට පහරදුන් බවත් සඳහන් කර තිබෙනවා.

තමා ජීප් රථයෙන් රැගෙන යන අවස්ථාවේදී රවිදු වාස් සිය මවට දුරකතන ඇමතුමක් ලබාගෙන "අම්මේ මම ඔයාට තෑග්ගක් ගෙනාවා" යනුවෙන් පැවසූ බවයි.

මෙම නඩුව හෙට (08) නැවත කැදවීමට නියමිතයි.