Saturday, April 20, 2024

General line - 0115112241

සයිටම් වෙඩි තැබීමේ සුලමුල ඇමති පාර්ලිමේන්තුවට හෙළි කරයි




මාලඹේ සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ඉලක්ක කර ගනිමින් සිදුවූ බව කියන වෙඩි තැබීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අද (07) අදහස් පළ වුණා.

ඒ, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මීට පෙර අසා තිබූ ප‍්‍රශ්නයකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පිළිතුරු ලබාදීමේදීයි.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු කර ඇතැයි කියන පාපොච්චාරණයකට අදාළව අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ "සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කරද්දි එයා කියලා තියෙනවා එයා තමයි වෙඩි තිබ්බේ කියලා. එයත් එක්ක තව ටීනා කියලා කෙනෙකුත් ගියා කියලත් තියෙනවා. තවදුරටත් ප්‍රශ්න කරද්දි සැකකරු කියලා තියෙනවා එයාට කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ රියදුරුවරයෙක් ලෙස සේවය කරන සුසිල් නැමැත්තෙක් ඇවිත් කිව්වලු මේ වෙඩි තැබීම එයාට භාර ගන්න කියලා. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් දෙන්න පොරොන්දු වුණාලු. ඊට පස්සේ දිනක ලක්මාල් විලත්ගමුව නැමැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කඩුවෙල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයායි සුසිල් නැමැත්තායි මුතුරාජවෙල ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රාජකාරී කරන අධිකාරී ශාමිකර ශ්‍රීමාල් පෙරේරා නැමැත්තාගේ නිවසෙදි මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පුහුණු කරලා තියෙනවා. දැන් ප්‍රශ්නය තියෙන්නේ ලක්මාල් විලත්ගමුවයි සුසිල් නැමැත්තයි සැඟව සිටීම. අදාළ විමර්ශන නිලධාරීන් ඔවුන් දෙදෙනාව හොයනවා." යනුවෙනි.

 
ශී‍්‍ර ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉකුත්දා නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබදවද පාර්ලිමේන්තුවේදී අද සංවාදයක් ඇති වුණා.

ප‍්‍රශ්නය විමසා සිටියේ දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයායි.

මීට පිළිතුරු ලබාදීමට නැගී සිටියේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ලයි. ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් සමස්ථ පරීක්ෂණයටම අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

මේ අතර බැදුම්කර ගණුදෙණුවට සම්බන්ධ පාර්ශවයක් රජයට ඍජුව අලාභයක් සිදුකර ඇත්නම් රජයට එය අයකර ගත හැකි බව නීතිපති ජයන්ත ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයා විසින් කථානායකවරයාට යොමුකරන ලදුව අද සභාගත කෙරුණු ලිපියේ ඒ බව සඳහන්.