Friday, April 19, 2024

General line - 0115112241

උපත් පාලනයට බලපෑම් කළ බව කී දඹුල්ලේ වෛද්‍යවරිය ගැන දැඩි කතාබහක් 




මව්වරුන්ට උපත් පාලන ක‍්‍රමයකට යොමුවන ලෙසට බලපෑම් කළ දඹුල්ල රෝහලේ වෛද්‍යවරිය සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එම සංගමය කියා සිටියේ අදාළ වෛද්‍යවරිය තම සංගමයේ සාමාජිකාවක් නොවන බවයි. 

එමෙන්ම කිසිදු රෝගියෙකුට බලහත්කාරයෙන් පවුල් සැලසුම් ක‍්‍රමයක් හඳුන්වා දීමට කිසිදු වෛද්‍යවරයෙකුට නොහැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 


කෙසේ වෙතත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දරන්නේ වෙනස් මතයක්. 

එහි සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක ප‍්‍රකාශ කළේ චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරිය බලහත්කාරයෙන් එවැනි සැත්කම් සිදු කළ බවට තොරතුරු නොමැති බවයි. 

අදාළ වෛද්‍යවරියගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ශාන්ති සමරසිංහ යටතේද විමර්ශනයක් ක‍්‍රියාත්මකයි. 

මේ අතර බොදුබල සේනා සංවිධානය අනාවරණය කරන්නේ උපත් පාලන සැත්කම් ඉකුත් වසර 10 පුරා සූක්ෂම ලෙස සිදුවී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. 

එම සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ වී සිටින ආයතන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වක‍්‍ර ලෙස උදව් ලබා ගන්නා බවයි.