Saturday, April 20, 2024

General line - 0115112241

ඇල්ලුවේ මධුෂ් නොවේ 




දකුණේ පාතාල ප‍්‍රබලයෙකු ලෙස සැලකෙන මධුෂ් නමැත්තා බවට සැකපිට වෙනත් අයෙකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. 

ඊයේ (09) රාත‍්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ දෙවුන්දර ප‍්‍රදේශයේදීයි.

මධුෂ්  නමැත්තා පාතාල ප‍්‍රබලයෙකු වූ සමයං ඇතුළු හත් දෙනෙකු කළුතර මල්වත්ත ප‍්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවෙකු ලෙසටයි සැලකෙන්නේ. 

ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ද මධුෂ්  නමැත්තාගේ රූපයට සමාන රූපයකින් හෙබි පුද්ගලයෙක්.  

ඒ අනුවයි මධුෂ්  යැයි වැරදී පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ. 

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ  තොරතුරු වාර්තා වීමත් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්  ඔහුගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා. 

ඒ අනුව අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සොයන පාතාල ප‍්‍රබලයෙනු වන මධුෂ්  නමැත්තා නොවන බවයි. 

ඔහු මාළු ව්‍යාපාරිකයෙක් බවද එහිදී අනාවරණ වුණා. 

බන්ධනාගාර බස් රථයකට ඉකුත් මස 27 වනදා එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් සමයං ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 

පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර කලක තිස්සේ පැවති ආරවුලක ප‍්‍රතිඵලයක් ලෙස මෙය සිදු වූ බවටයි සැක කෙරෙන්නේ.