Thursday, April 25, 2024

General line - 0115112241

අතවරයකට ලක් වූ දැරියට කළේ 'ස්ථීර'  උපත් පාලන සැත්කමක් නොවේ 




අතවරයකට ලක් වූ දැරියකට ස්ථීර උපත් පාලන සැත්කමක් සිදු කර ඇති බවට පල වන වාර්තා සම්බන්ධයෙන් හම්බන්තොට රෝහල් අධ්‍යක්‍ෂවරයා පැහැදිලි කිරීමක් සිදු කරනවා. 

අදාළ බාලවයස්කාර දැරියට හම්බන්තොට රෝහලේ දී ස්ථීර උපත් පාලන සැත්කමක් සිදු කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ ඊයේ (10)දිනයේයි. 

ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සහ වෛද්‍ය සභාව වෙත එම නියෝගය නිකුත් කෙරුණා. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී හම්බන්තොට රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සුමිත් මනතුංග සඳහන් කළේ අදාළ දැරියට සිදු කර ඇත්තේ ස්ථීර උපත් පාලන සැත්කමක් නොවන බවයි. 

දැරියගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ට එවැනි තීරණයක් ගත හැකි බවද ඔහු සඳහන් කළා. 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැත්කම සිදු කළ වෛද්‍යවරයා අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශය හමුවේ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා ප‍්‍රකාශ කළා. 

අතවරයට ලක් වූ බව පැවසෙන දැරිය වැල්ලවාය මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු කේසර සමරදිවාකර හමුවට ඊයේ ඉදිරිපත් කෙරුණා. 

එහිදී ඇයගේ වම් අහෙති උඩ කොටසේ විශාල වෙළුම් පටියක් යොදා ඇති අයුරු නිරීක්ෂණය වී තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්වරයා කළ විමසීමක දී දැරිය පවසා ඇත්තේ හම්බන්තොට රෝහලේ දී තමන්ට උපත් පාලන සැත්කමක් සිදු කළ බවයි. 

තණමල්විල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම දැරිය අතවරයකට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා. ඇය අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවයි.