Thursday, April 18, 2024

General line - 0115112241

ලාෆ්ස් ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන නව මුහුණුවරකින් වෙළඳපොළට 




ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වන ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම සිය ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා නව වෙළද ලාංඡන හා ඇසුරුම් සමගින් ප්‍රචාරණ වැඩසටහන් මාලාවක්ද හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර තලයේ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ලාෆ්ස් සමාගම සතු සැලසුම් වල එක් පියවරක් වශයෙන් මෙම නව හඳුන්වා දීම් සිදුකර තිබේ. 


"ලාෆ්ස් යනු කාලයත් සමග නිරන්තරයෙන් යාවත්කාලීන වන සමාගමක්. අපගේ ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන වල වෙළද ලාංඡන මෙසේ නවමු මුහුණුවරකින් ඉදිරිපත් කිරීම මගින් සංකේතවත් වන්නේ එයමයි. පාරිභෝගිකයන්ට සමීප වෙමින් ඔවුන්ට වැඩිවැඩියෙන් වටිනාකම් තිළිණ කිරීම අපගේ ඉලක්කය වී තිඛෙනවා. මේ නව වෙනස්කම් සමගින් සමාගමේ ඉදිරි දශකයේ වර්ධනය සඳහා ප්‍රවේශයක් ලබාගැනීම වගේම ශ්‍රී ලංකාව සහ කලාපය තුළ ගෑස්, පෙට්‍රල් සහ ලිහිසි තෙල් ආදියෙහි සිට පුනර්ජනනීය බලශක්තිය දක්වා සමස්ත බලශක්ති ක්ෂේත්‍රයේම ප්‍රමුඛයා බවට පත්වීම අපගේ පරමාර්ථයයි." ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසී ය. 


සමාගමේ ක්‍රමෝපායික පදනම මනාව නිරූපණය වන ආකාරයට නව ලාෆ්ස් ගෑස් ලාංඡනය නිර්මාණය කර තිබේ. ද්‍රව පෙට්‍රෝලියම් වායු දහනය වන දැල්ලේ රටාවෙන් ආභාෂය ලබා ඇති එය ශ්‍රී ලංකාවේ හැඩය නිරූපණය කරන අතර එහි සියුම් හැඩ රටා මගින් ප්‍රමිතිය හා දියුණුව හැඟවේ. ලාංඡනයේ කහ පැහැති පසුබිම මගින් ආයතනයේ ස්ථාවරත්වය, සුභවාදී බව සහ වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු ලෙස කටයුතු කරන ආකාරය සංකේතවත් කරන අතර නිල් දැල්ල මගින් ද්‍රව පෙට්‍රෝලියම් වායුවල පිරිසිදු සහ කාර්යක්ෂම දහනය නිරූපණය වේ. 


ලාෆ්ස් ගෑස් විසින් සිය සන්නාම තානාපතිනිය ලෙස තෝරාගෙන ඇත්තේ ජනප්‍රිය සිනමා නිළි පූජා උමාශංකර් මහත්මියයි. දැනටමත් බංග්ලාදේශය වෙතද සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති ලාෆ්ස් ගෑස් ඉදිරියේදී කලාපයේ වෙනත් රටවලටද ව්‍යාප්ත වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථීකයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදීමටද අපේක්ෂා කරයි. ද්‍රව පෙට්‍රෝලියම් වායු ක්ෂේත්‍රයේ මෙන්ම සමස්තයක් ලෙස රටේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට උරදීමක් ලෙස මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ ද්‍රව පෙට්‍රෝලියම් වායු ආනයන/අපනයන පර්යන්තයක් ස්ථාපිත කිරීමටද සමගම මේ වනවිට ආයෝජනය කර ඇති අතර බලශක්ති අපනයනකරුවෙකු ලෙස නව භූමිකාවකට පණපෙවීම සඳහා නැව්ගත කිරීම් සහ අපනයන ක්ෂේත්‍රයටද පිවිසී සිටී. 


"ලාෆ්ස් යනු ඉතාමත් උනන්දුවෙන් හා කැපවීමෙන් යුතුව ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන සමාගමක්. තම කාර්ය මණ්ඩලය යනු තමන් සතු වටිනාම සම්පත් අතරින් එකක් ලෙස ලාෆ්ස් සමාගම සලකනවා. වගකීම්සහගත ලෙසත්, විශ්වාසවන්ත ලෙසත්, කාර්යක්ෂම ලෙසත් කටයුතු කිරීමට ඔවුන් හොඳින් පුහුණුව ලබා තිඛෙනවා. මෙය සමාගමේ මෙහෙවරෙහිම කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවන්. දැනට සමාගමේ සිදුවෙමින් පවතින ව්‍යාප්තියත් සමග ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට මෙරට මෙන්ම විදේශයන්හිද නව රැකියා අවස්ථා රාශියක් උදාකර දීමට අපට හැකියාව ලැබේවි." ලාෆ්ස් හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ තිලක් ද සිල්වා මහතා පැවසී ය. 


ලාෆ්ස් ලිහිසි තෙල් සන්නාමයේ සිදුකෙරෙන වෙනස්කම් යටතේ ක්ෂේත්‍රයේ සාමාන්‍ය ප්‍රමිතීන්ට වඩා ඉහළ මට්ටමේ පවතින නිෂ්පාදන හඳුන්වා දෙනු ලබන අතර ශ්‍රී ලංකාවේ පරිසරයේ පවතින උෂ්ණත්වය හා දුහුවිලි මෙන්ම මාර්ග වල තත්ත්වයන්ටද වඩාත් හොඳින් ගැළපෙන පරිදි  වැඩිදියුණු කළ සංයෝගයක් ලෙසින් ඒවා වෙළඳපොළට පැමිණෙනු ඇත. නව ලාංඡනයට අමතරව ඩීසල්, පෙට්‍රල් සහ මෝටර් සයිකල් කාණ්ඩ සඳහා නව ඇසුරුම්ද හඳුන්වා දී තිබේ. මෙහි එක විශේෂ අංගයක් ලෙස ලේබලයේ පහළ යොදා ඇති "View Strip" කොටස පෙන්වා දිය හැක. මේවායෙහි අදාළ තෙල් වර්ගය භාවිතා කළ හැකි වාහන මොනවාද යන්න පැහැදිලිව දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් නිෂ්පාදන ඇසුරුම් සඳහා මෙවැනි අංගයක් හඳුන්වා දී ඇත්තේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි. එමෙන්ම ත්‍රිරෝද රථ සඳහාම විශේෂ වූ ලිහිසි තෙල් වර්ගයක් "Actron" සන්නාමය යටතේ වෙළඳපොළට පැමිණෙනු ඇත. 


ලිහිසි තෙල් සඳහා වන නව ලාංඡනය තෙල් බිඳක ස්වාභාවික හැඩය පදනම් කරගෙන නිර්මාණය කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ හැඩය නිරූපණය කරයි. එහි මැද පිහිටි කොටසින් ශ්‍රී ලංකාවේ හදවත මෙන්ම රට තුළ සන්නාමය හිමිකරගෙන ඇති ප්‍රමුඛ ස්ථානය සංකේතවත් වේ. තෙල් බින්දුව වටා ඇති මෘදු චක්‍ර රේඛා මගින් නිරායාසයෙන් පෙරට යන සාර්ථකත්වයේ ගමන් මග, දීපව්‍යාප්ත ආවරණය සහ රටේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමේ අධිෂ්ඨානය යනාදිය හඟවයි. 


ධාවන ශූරයන් වන ඩිලන්ත මාලගමුව සහ උෂාන් පෙරේරා ලාෆ්ස් ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරති. ජාත්‍යන්තර තලයේ වැඩිම සාර්ථකත්වයක් අත්පත් කරගත් ශ්‍රී ලාංකික ධාවන ශූරයා වන ඩිලන්ත මාලගමුව එම ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්පත් කරදීමට සමත් වී සිටී. උෂාන් පෙරේරා මෙරට "Champion Driver" සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වූ ධාවන ශූරයෙකි. ඊට අමතරව ජනප්‍රිය ගායකයන් වන භාතිය හා සන්තුෂ් ද ලාෆ්ස් ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා සන්නාම තානාපතිවරුන් ලෙස සම්බන්ධ වී සිටිති. 


ලාෆ්ස් යනු මෙරට වැඩියෙන්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර අතරින් එකක් වන අතර එය ශ්‍රී ලංකාවේ වැඩිම විශ්වාසයක් දිනූ සන්නාම අතරින් එකක් ද වේ. 1995 වසරේදී ආරම්භ වූ එය වර්තමානය වනවිට මෙරට සහ විදේශයන්හි ක්ෂේත්‍ර 20 කට පමණ ව්‍යාප්ත වී ඇති අතර විදුලිබල හා බලශක්ති, වෙළඳාම්, කර්මාන්ත, සේවා, සංචාරක, කාර්ය සම්පාදන හා දේපළ වෙළඳාම් වැනි ක්ෂේත්‍ර රාශියක පුරෝගාමීන් බවට පත්වීමට සමත් වී ඇත. 4,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහ රු. බිලියන 28 කට අධික පිරිවැටුමකින් යුත් ලාෆ්ස් සමූහ ව්‍යාපාරය දිගින් දිගටම මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වමින්, දිනෙන් දින දියුණුව කරා පා නගමින් සිටී.