Friday, March 29, 2024

General line - 0115112241

මහා කි‍්‍රකට් තරග වෙනුවෙන් පෙළපාලි ගිය  වාහන 22 ක්  අත්අඩංගුවට 




මහා කි‍්‍රකට් තරග වෙනුවෙන් කොළඹ පැවැත්වූ වාහන පෙළපාලිවල අවිනීතව ධාවනය කළ බවට චෝදනා කරමින් වාහන 22 ක් පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.  

පොලිස් ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි පැවසුවේ මගීන්ට හා සෙසු වාහනවලට අවහිර වන පරිදි පොලිස් අණද නොතකා මෙම වාහන ධාවනය කර ඇති බවයි. 

කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් දෙකක ශිෂ්‍ය කණ්ඩායම්  අදාළ වාහන පෙළපාලි සංවිධාන කර තිබුණා. 

අත්අඩංගුවට ගත් වාහනවල රියදුරන්ට නඩු පැවරීමටද ඉදිරියේදී කටයුතු කරන බවයි පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවේ. 

මේ අතර කොළඹ ප‍්‍රධාන පෙළේ බාලිකා පාසල් දෙකකට කොළඹ තවත් ප‍්‍රධාන පෙළේ පිරිමි පාසලක ශිෂ්‍යයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වූ සිද්ධියක් ඉකුත් 21 වනදා වාර්තා වුණා. 

එම සිද්ධියේ පසු විශේෂ නිවේදයක් නිකුත් කරමින් පොලීසිය කියාසිටියේ පාසල් අතර මහා කි‍්‍රකට් තරග පැවැත්වෙන මෙම සමය තුළ අවිනීතව හැසිරෙන හෝ අවිනීතව වාහන ධාවනය කරන  ඕනෑම අයෙකුට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි. 

ඒ සම්බන්ධයෙන් විමර්ශන සදහා අතිරේක පොලිස් නිලධාරීන්ද අනියුක්ත කෙරුණා. 

කොළඹ බාලිකා පාසල්වලටද අතිරේක ආරක්‍ෂාවක් සපයන බවයි පොලීසිය කියාසිටියේ.