Friday, April 19, 2024

General line - 0115112241

හොඳම ප්‍රතිඵල ගත් සාමාන්‍ය පෙළ හපන්නු මෙන්න




අද අළුයම නිකුත් වූ 2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිපලවලට අනුව හොඳම ප්‍රතිඵල ලාභින් අතර පළමු දස දෙනාම නාගරික පාසල්වලින් බිහිවී තිබෙනවා. 

පලමු ස්ථානය ලැබී ඇත්තේ  කොළඹ විසාකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල්ටයි. 

අධ්‍යාපන කටයුතු මෙන්ම තමන් බාහිර ක්‍රියාකාරකම්වලද නිරත වූ බවයි ඇය නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

තමන් ලද අත්දැකීම් ඇසුරින් විභාගවලට සූදානම් වන සෙසු අයට මග පෙන්වීමක් ලබා දිමට ද අනුකි චමත්කා පැස්කුවල් අමතක කළේ නැහැ. 

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ස්ථානය ලැබී ඇත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිදි මන්තිලනි මුණසිංහටයි. 

සිය විනෝදාංශ සහ පාසලේදී සහභාගී වූ බාහිර ක්‍රියාකාරකම් පිලිබඳවද සමිදි මන්තිලනි මුණසිංහ මෙහිදී සිහිපත් කළා. 

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර් එම් සුගත් රවිඳු සන්වර සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධි මිරිස්සගේ 2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ තුන්වන ස්ථාන ලබා ගෙන තිබෙනවා.

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ හතරවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එච් බී පබසරා මලිති කුමාරි විසින් ලබා ගෙන තිබෙනවා. 

පස්වන ස්ථාන ලැබී ඇත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩි. එම්. රනුමි දිසරණි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඒ. දම්සරා මේධාවි සහ යාපනය හින්දු විද්‍යාලයේ ඒ. අභිනන්දන්. ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ රන්දිණි  ද සිල්වා සහ මාතර සුජාතා විද්‍යාලයේ ඊ ඒ යසාරා උමාෂ හය වන ස්ථාන ලබා ගෙන තිබෙනවා. 

මේ අතර 2016 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණ සඳහා දැන් අයදුම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. 

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය අප්‍රේල් මස 30 වනදායි. 

පාසල් අපේක්ෂකයන් සඳහා වන එම අයදුම්පත්‍ර, ප්‍රතිඵල ලේඛන ද සමග විදුහල්පතිවරුන් වෙත යවනු ඇති. 

පෞද්ගලික අපේකෂකයන් ජාතික පුවත්පත්වල ඉදිරියේදී පළ කරනු ලබන දැන්විම් අනුව නැවත සමික්ෂණ අයදුම්පත්‍ර සකස් කර ගත යුතු වනවා.