Saturday, April 20, 2024

General line - 0115112241

බස් මගීන්ට සහනයක් – ජනපති අතින් ‘සහසර’ ඇරඹෙයි




ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු හඳුනාගෙන ඊට විසඳුමක් ලෙස ‘සහසර’ ව්‍යෘපෘතිය අද (18) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර දී ආරම්භ කෙරෙනවා.

මෙම ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය විසින්.

මෙම ‘සහසර’ ව්‍යෘපෘතිය හරහා මගී ජනතාවට සිදුවන සේවය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ උපයමාර්ගිය ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා කියා සිටියේ මගී ජනතාවගේ පහසුව සඳහා නව පෙරගෙවුම් කාඞ් පතක් හඳුන්වා දීම මෙහිදී සිදු කෙරෙන බවයි.

මෑත කාලයේ ඇතිවූ ප‍්‍රවාහන ගැටළු හේතුවෙන් බස් මගී ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වූ බව ද හෙතෙම කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වු අශෝක අබේගුණවර්ධන මහතා,

“ජනතාව පොදු ප‍්‍රවාහන සේවාවෙන් ඉවත් වෙමින් යනවා. මේක ඇත්තටම බරපතල තත්ත්වයක්.  මේ රටේ ජනතාවට මාසිකව තමන්ට ලැබෙන මුදලින් සැළකිය යුතු ප‍්‍රමාණයක් ප‍්‍රවාහනයට අවාසනාවන්ත ලෙස වියදම් කරන්න සිදුවෙලා තියෙනවා.

මෙයට ප‍්‍රධානතම හේතුව රටේ පොදු ප‍්‍රවාහන සේවය දුර්වලවීමයි. ඒකට හේතුව මේ රටේ බස් මදිකම නෙමෙයි. දැනට පවතින  බස් ප‍්‍රමාණය ජනතාවට හොඳ සේවයක් ලබාදීම සඳහා ප‍්‍රමාණවත්. නමුත් හොඳ සේවාවක් ලබාදෙන්න බැරිවෙලා තියෙන්නේ බස් අතර තියෙන තරගය නිසායි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් පරිදි පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීම යටතේ අද මෙම වැඩපිළිවල ‘සහසර” නමින් ක‍්‍රියාත්මක වෙනවා. ඒ අනුව බස්වලට ආදායම ලැබෙන්නේ බස්වලට ගොඩවන මගී ජනතාව නිසා නෙමෙයි. එම බස්රථය මාර්ගයේ කොතරම් දුර ප‍්‍රමාණයක් ධාවනය කළා ද යන්න ගණනය කරලයි. ඒ වගේම එම ධාවන මාර්ගයේ ලැබෙන මුළු ආදායම බස් අතර සාධාරණ ලෙස බෙදී යන ආකාරයේ වැඩපිළිවෙලක් තුළින්.

මේ හරහා බස්රථ අතර තරගයක් ඇතිවෙන්නේ නැහැ. මෙ අනුව තමන්ගේ බස් රථයට ගොඩ නොවුන මගීන්ගෙන් පවා ආදායම ලැබෙනවා. ඒ අනුව අනවශ්‍ය තරගකාරිත්වයක් ඇතිවීම නතරවෙනවා.

මේ සඳහා නව තාක්ෂණික ක‍්‍රම වේදයන් භාවිත කරනවා. මෙම වැඩසටහනේ දී මගියෙක් මුදලින් බස් රථයකට ගෙවීම් කලහොත් එය පොදු වැඩසටහනකට යොමු කරන්න බැහැ. ඒ නිසා අපි පෙරගෙවුම් කාඞ් පතක් හඳුන්වා දී තිබෙනවා සහසර නමින්. මෙම කාඞ්පත සාමාන්‍ය වෙළඳසැල්වලින්, බස් නැවතුම්පොළවලින් මෙන්ම බස් කොන්දොස්තර වරුන්ගෙන් පවා මිලට ගන්න පුළුවන්.

මෙහි ප‍්‍රගතිය අනුව ඉදිරි සති කිහිපය තුළ මෙම ව්‍යාපෘතිය ලංකාව පුරා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.” යැයි ද පැවසුවා.