Saturday, April 20, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඩෙංගු මදුරුවන් අණී!




ඩෙංගු මදුරු කීටයන් හමුවන රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියාසිටියේ.

ලබන 26 වනදා පෙර සියලූම පාසල් පද්ධති පිරිසිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඉන්පසු පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් පාසල් පද්ධති පරීක්‍ෂා කිරීමට නියමිතයි. එම පරීක්‍ෂාවලදි ඩෙංගු මදුරු කීටයන් සොයා ගැණුනහොත් මාසයක් ඇතුළත පාසල් පද්ධතිය පිරිසිදු කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

ඉන්පසුවද අදාළ පාසල් පරිශ‍්‍රවලින් ඩෙංගු මදුරු කීටයන් හමුවුවහොත් එම විදුහල්පතිවරුන්ට එරෙහිව නඩු පවරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. ඊට අමතරව දිවයින පුරා පිහිටි සියලූ ඉදිකිරීම් කලාප පරීක්‍ෂා කෙරෙන අතර එහිදී ඩෙංගු මදුරු කීටයන් හමුවුවහොත් එම ඉදිකිරීම් කලාපවල බලපත‍්‍ර මාසයකට අත්හිටවන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

2017 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් තිස්තුන් දහස් එකසිය පනස් එකක් වාර්තා වී ඇති අතර මරණ 61 වාර්තා වී තිබෙනවා.