Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ නගර සභාවෙන් යළිත් ඉල්ලීමක්




කසල ගැටළුව විසඳීමට සහය ලබා දෙන්නැයි කොළඹ මහ නගර සභාව සියලු පාර්ශවවලින් නැවත ඉල්ලීමක් කරනවා.

කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර පෙන්වා දෙන්නේ "කොළඹ කුණු කොළඹ කුණු කියලා මිනිස්සු කෑගහනවා..ඒත් සියලු දෙනා දැනගන්න ඕනේ.. කොළඹ මිනිස්සු ජීවත්වෙන එකෙන් ලැබෙන කසල ප්‍රමාණය ටොන් 200 ක් පමණයි. නමුත් 750 ත් 1000 ත් අතර කසල ප්‍රමාණයක් ඉවත් කරනවා. ඒ ඉවත් කරන්න වෙලා තියෙන්නේ කොළඹ කුණු විතරක් නෙමෙයි. ඒ නිසා මේ තත්ත්වය තේරුම් ගෙන අපිට උදව් කරන්න." යනුවෙනි. 

කසල, දොම්පේ ප‍්‍රදේශයට බැහැර කිරීම නතර කිරීමට කොළඹ මහ නගර සභාව ඊයේ (22) තීරණය කළා. කෙසේ වෙතත් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව පිිළියන්දල කරදියාන ප‍්‍රදේශයටත්, වත්තල බෝපිටිය නුගපේ ප‍්‍රදේශයටත් තවදුරටත් කසල බැහැර කෙරෙනවා. 

කරදියාන කසල රැඳවුම ඊයේ ජපානයෙන් පැමිණ සිටින විශේෂ තාක්ෂණික කණ්ඩායමේ ද නිරීක්ෂණයට ලක්වුණා. මීට පෙර මීතොටමුල්ල කසල කන්ද ද ඔවුන් නිරීක්ෂණය කළා.  

මේ අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අවතැන් වූවන්ට තවදුරටත් සහන ලබාදෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. තවමත් තාවකාලික කඳවුරක නතර වී සිටින්නන් සඳහා කොළොන්නාව වී ගබඩාව මේ වනවිට යුහුසුළුව පිළිසකර කෙරෙන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් සේනාධීර පැවසුවා. 

කෙසේ වෙතත් මෙම වී ගබඩාවේ පදිංචියට යාමට තමන් අකමැති බවයි අවතැන්වූවන් කියා සිටියේ.  අවතැන්ව සිටින ජනතාව වෙනත් ස්ථානයක, ස්ථිර නිවාසයක් හෝ ප‍්‍රමාණවත් වන්දියක් ලබාදෙන තෙක් මහල් නිවාසයකට යාමට සූදානම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් ඒ සඳහා ගිවිසුමකට අත්සන් තැබිය යුතු බවයි නීතිඥ නුවන් බෝපගේ වැඩිදුරටත් පැවසුවේ. 

මීතොටමුල්ල කසල කන්ද ආශ‍්‍රිතව අවදානම් ප‍්‍රදේශ කිහිපයක වැසියන්ට ද එම ප‍්‍රදේශවලින් ඉවත්වන ලෙස උපදෙස් දී තිබෙනවා.  ඔවුන්ට මාස 03ක් මසකට රුපියල් පනස් දහස බැගින් නිවාස කුළී සඳහා දීමනාවක් ලබාදීමට සහ නිවසේ තිබෙන බඩුබාහිරාදිය රැගෙන යාමට ප‍්‍රවාහන ගාස්තු ලෙස රුපියල් දස දහසක් ලබාදීමට ද යෝජිතයි.

කෙසේ වෙතත් එම ජනතාව ඊට එකඟතාව පළ කරන්නේ නැහැ. ඔවුන් විමසා සිටියේ රුපියල් දස දහසේ ප‍්‍රවාහන දීමනාව ලබාගෙන සිය නිවෙස්වල තිබෙන දේ රැගෙන යන්නේ කොහාටද යන්නයි. මාස 03ක කුළිය පමණක් ලබාදී නිවාස ලබාගැනීමට හැකිදැයිද ඔවුන් විමසා සිටියා.