Wednesday, April 24, 2024

General line - 0115112241

රනිල් - සෝනියා හමුවෙයි




ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත් ශ්‍රී  ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහය ලබා දීමටත් කලාපීය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලීම උදෙසා කැපවීමටත් තම පක්ෂය නිරතුරුවම ක්‍රියා කරන බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි පවසා තිබෙනවා.

අද (26) පෙරවරුවේ ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සෝනියා ගාන්ධි  අවධාරණය කළේ කලාපීය සහ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ද මෙම අවස්ථාවට එක්වී සිටියා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව දල කලාපීය දේශපාලන හා සමාජයීය ප්‍රවණතා පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණා.

කොංග්‍රස් රජය සමයේ ඔවුනගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතීන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම,  අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා සහ සාර්ක් කලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් අසෝක ගිරිහාගම සහ විශේෂ සහායිකා සැන්ඩ්රා  පෙරේරා ඇතුළු පිරිසනක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වුණා.