Thursday, March 28, 2024

General line - 0115112241

යෝජනාව සියයට සියයක්ම සාධාරණයි




අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න ඉකුත් දා ගල් අරක්කු මිල පහල දැමිය යුතු බවට කළ යෝජනාව සියයට සියයක්ම සාධාරණ බව දුම්වැටි සහ දුම්කොළ අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.

නීත්‍යානුකූල නිෂ්පාදනයක් වන අරක්කුවලට වඩා කසිප්පු බෙහෙවින් ලාභදායී වන බැවින් වතු කම්කරුවන් ඇතුළුව ගැහැනු හා පිරිමි දෙපාර්ශ්වයේම බොහෝ දෙනෙකු ඊට ඇබ්බැහි වී ඇති බව පෙනී යාම මෙම යෝජනාව සිදු කිරීමට හේතු වී තිබුණා.

ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සිතා එම තීරණය ගෙන ඇති බවයි එම සංගමයේ සභාපති කේ.එල්.එච් සිල්වා පෙන්වා දෙන්නේ. දුම්වැටි සම්බන්ධයෙන්ද මෙවැනිම ගැටලු ඇති වී තිබෙන බව පෙන්වා දෙන කේ.එල්.එච් සිල්වා පවසන්නේ රට තුළ ප්‍රමිතියෙන් තොර දුම්වැටිද නීති විරෝධි ලෙස ආනයනය කර අඩු මිලට අලෙවි කරමින් ඇති බවයි.

නීත්‍යානුකූල සිගරට්වල මිල අධික නිසා ඒවා මිලදී ගැනීමට අපහසු බොහෝ දෙනෙකු නීතිවිරෝධී සිගරට් සහ බීඩි වැනි විකල්ප නිෂ්පාදන වෙත යොමු වෙමින් සිටින බවත් මෙය හරහා සිය සංගමයේ වෙළඳුන්ට බෙහෙවින් අලාභ ගෙනදෙන්නක් බවත් සඳහන් කෙරුණා.

කුඩා අලෙවිසලකට පැමිණ සිගරට් එකක් මිලදී ගන්නේ බොහෝ දුරට එදිනෙදා වැටුප් ලබන මට්ටමේ ජනතාවයි. අතමිටේ සීමිත මුදල් ප‍්‍රමාණයක් සහිත ඔවුන් තනි සිගරට් මිලදී ගැනීමට පෙළඹෙනවා. ඔවුන්ට සිගරට් පැකට්ටුවක් එකවර මිලදී ගැනීමේ හැකියාවක් නැති බවත් තනි සිගරට් අලෙවිය තහනම් කළහොත් ඔවුන් විකල්ප නිෂ්පාදන වෙත යොමුවීම වැළැක්විය නොහැකි බවත් පැවසුවා.

නීත්‍යානුකූල සිගරට් අලෙවිය කොතරම් සීමා කළද දුම් බීමට ඇබ්බැහි වූ තැනැත්තා එය නතර කරන්නේ නැති බවද නීතිවිරෝධී සිගරට් සඳහා ඇති ඉල්ලුම දැනටමත් ඉහළ ගොස් ඇති නිසා එම සිගරට් මහා පරිමාණයෙන් වෙළඳපොළට පැමිණෙමින් ඇති බවද සඳහන් කෙරුණා.

සිගරට් මිලදී ගැනීමට කුඩා අලෙවිසල් වෙත පැමිණෙන බොහෝ දෙනා ආහාරයට යමක් හා තේ කෝප්පයක් වැනි දේ ද මිලදී ගන්නා බව පෙන්වා දෙන දුම්වැටි සහ දුම්කොළ අලෙවිකරුවන්ගේ සංගමය, මෙය එම අලෙවිසල්වලට හොඳ ආදායමක් ලබාදෙන මගක් බවයි පැවසුවේ.

නව යෝජනා මගින් මෙම ආදායමද ඔවුන්ට අහිමි වනු ඇති බවද සඳහන් කෙරුණා. මේ වනවිට මීටර් 500 සීමාවේ නීතියක් හඳුන්වා දීමටද රජය කටයුතු කරමින් සිටින බවද මෙය කුඩා පරිමාණ අලෙවිසැල්වලට තවදුරටත් ගැටලුවක් වනු ඇති බවට සැකයක් නැති බවද සඳහන් කෙරුණා.

රටේ ආර්ථිකයට සහ සිය ජීවනෝපාය මාර්ගවලට දැඩි බලපෑම් එල්ල කරන මෙවැනි පියවර සම්බන්ධයෙන් රජය නැවත සලකා බලනු ඇතැයි සිය සංගමය විශ්වාස කරන බවයි දුම්වැටි සහ දුම්කොළ අලෙවිකරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කළේ.