Tuesday, April 16, 2024

General line - 0115112241

ICC ඉන්දියා මතභේදය අවසන්




ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සමග පැවති මතභේදාත්මක තත්වය නිම කරමින් එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට ඉන්දීය කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කර තිබෙනවා. ඒ, අද පැවති ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ රැස්වීමකින් අනතුරුවයි. ඒ අනුව තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායම හෙට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරනු ඇති.

මෙම තරගාවලියට කණ්ඩායම් 08ක් සහභාගී වන අතර ඔවුන්ගේ සංචිත ප‍්‍රකාශයට පත් කිරීමට තිබූ අවසන් දිනය නික්ම යන තුරුම ඉන්දීය කණ්ඩායම සිය සංචිතය ප‍්‍රකාශයට පත්කර තිබුණේ නැහැ. ඒ අනුව ඔවුන්ට තරගාවලිය අහිමි වන තත්වයකුයි උද්ගත වී තිබුණේ.  

මේ අතරතුර ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් 2023 වර්ෂය දක්වා බලපැවැත්වෙන නව මූල්‍ය සටහන ද එළිදක්වනු ලැබුවා. එමගින් එතෙක් ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව හා එංගලන්තයට හිමිව තිබූ ඒකාධිකාරය අවසන් කර සියලූ සාමාජික රටවලට එකසේ සැලකීමටයි තීරණය කළේ. එමෙන්ම ඉන්දියාව ඉල්ලා තිබූ මුදල අඩු කිරීමට ද එහිදී පියවර ගැණුනා. ඉන්දියාව ඊට විරෝධය පළ කළ අතර තමන්ට වැඩි මුදලක් අවශ්‍ය බව ප‍්‍රකාශ කිරීම, ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය හා ඉන්දියාව අතර මතභේදාත්මක තත්වයක් හට ගැනීමට හේතු වුණා.