Friday, April 19, 2024

General line - 0115112241

විනාශ වෙමින් යන පුස්කොළ පොත් ගැන ජනපතිගේ අවධානය




අස්ගිරි මහාවිහාරීය පිරිවෙන් පරිශ්‍රයේ ඉදි කෙරුණු අස්ගිරි මහාසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය අද (08) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 

මහනුවර නගරයේ උස් ස්ථානයක ඉදි වූ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ අඩි 145 ක් උසින් යුත් අතර, විශ්කම්භය අඩි 65 කි. කෞතුකාගාරයක්, චිත්ත විවේකාගාරයක් සහිත විසිතුරු බෞද්ධ සිතුවම්වලින් යුතු ධාතු මන්දිරයකින් මෙම චෛත්‍ය සමන්විතයි.

අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට මල් පූජාකොට ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා, මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජාකොට ආශීර්වාදය ද ලබා ගත්තා. නිර්මාණ ශිල්පීන්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. 

විනාශ වෙමින් පවතින පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවසුවා.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහා නායක හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්. බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුලු ගිහි පැවිදි ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.