Friday, March 29, 2024

General line - 0115112241

පිළියන්දල වෙඩි තැබීමේ පරීක්ෂණවලට පොලිස් කණ්ඩායම් 11ක් - (UPDATE)




පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 11ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ කණ්ඩායම් 08ක් සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 03ක් එලෙස විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

ටී - 56 ගිනි අවි සහ බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලවලින් එම වෙඩි තැබීම් සිදු කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

මෙම ගිනි අවි අත්තිඩිය ප‍්‍රදේශයේ ස්ථානයක සිට රැගෙන ආ බවටද තොරතුරු වාර්තා වී ඇතැයි සඳහන්. 

වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් පිරිසක් බවයි පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ. 

මෙම වෙඩි ප‍්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු මියගිය අතර තවත් හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. 

මේ අතර වෙඩි ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක එන්. රංගජීවගේ සුවදුක් බැලීම සඳහා පොලිස්පතිවරයා අද කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. 

මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා. 

නෙත් නිවුස් ඔවුන්ගේ තත්වය පිළිබඳ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමින්දි  සමරකෝන්ගෙන් විමසීමක් කළා. 

වෙඩි ප‍්‍රහාරයට ලක් වූ තවත් තිදෙනෙකු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 

රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ ඒ අතර සිටින 16 හැවිරිදි දරුවෙකුට සහ 06 හැවිරිදි දරුවෙකුට ශල්‍යකර්ම සිදු කළ බවයි. 

අනෙක් පුද්ගලයාට ද අද දහවල් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බව රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා. 

-------------------------------------------------------

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට පිළියන්දලදී වෙඩි - එක් නිලධාරියෙකු මරුට - පාතල මදූෂ්ගේ වැඩක්දැයි සැක (PHOTOS) (UPDATE 10-05-2017 05.30AM)

පිළියන්දල නගරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉලක්ක කර ඊයේ රාත‍්‍රියේ සිදු කෙරුණු වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණා. 

වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 06 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් කෙරුණේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි. 

ඒ අතර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ රාත‍්‍රියේ කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා. 

වෙඩි ප‍්‍රහාරයට ලක්වූවන් අතර කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා මෙහෙයුමක් සිදු කිරීමට සූදානමින් සිටිය දී මෙම පොලිස් කණ්ඩායමට වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදිවලින් ගමන් කළ සන්නද්ධ අපරාධ කණ්ඩායමක්. 

එහිදී තුවාල ලැබූවන් අතර මෙම වැටලීම මෙහෙයවූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පොලිස් පරීක්ෂක එන්. රංගජීව ද වනවා. 

ඔහු ඉකුත් කාලය පුරා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් නීතියේ රැුහැනට කොටුකරගත් නිලධාරියෙකු වනවා. 

මෙම ප‍්‍රහාරය පාතාල නායක මදූෂ් නමැත්තාගේ කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දක් බවට සැක කෙරෙනවා. 
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු ලෙස සැක කෙරෙන  මදූෂ් නමැත්තා ඉකුත් කාලසීමාවේ දී රටින් පැන ගොස් ඇති බවයි පැවසෙන්නේ. 

-----------------------------------------------------

පිළියන්දල දී පොලිස් නිලධාරීන් පිරිසක් වෙඩි ප‍්‍රහාර (UPDATE 2017-05-09 09.16PM)

පිළියන්දල නගරයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කර මීට නොබෝ වේලාවකට පෙර වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ හය දෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. 

ඒ අතර කුඩා දරුවෙකු ද වන බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.