Friday, April 19, 2024

General line - 0115112241

රතන හිමිගේ රථය යතුරු පැදියක ගැටෙයි - අනතුර ගැන රතන හිමි පැහැදිළි කරයි




පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ගමන් කරමින් තිබූ මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරෙන් සමෘද්ධි නියාමකවරියක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අද (21) දහවල් පුත්තලම, අනුරාධපුර මාර්ගයේ 8 සහ 9 වන සැතපුම් කණු අතර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කරුවලගස්වැව, කුඩා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන සේනාධිපති මුදියන්සේලාගේ පද්මිණී නම්වූ අවුරුදු 52 ක් වයසැති කාන්තාවක්.

ඇය කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සමෘද්ධි සංවර්ධන නිලධාරීනියක ලෙස සේවය කරනවා.

පූජ්‍ය  අතුරලියේ රතන හිමියන් ගමන් කරමින් සිටි මෝටර් රථය අනුරාධපුරය දෙස සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තබියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට පත්ව ඇති යතුරු පැදියද එම දෙසටම ගමන් කරමින් සිට ඇති බවයි මූලික විමර්ශණවලදී අනාවරණය වි ඇත්තේ.

රතන හිමියන් ගමන් කරමින් සිටි මෝටර් රථය තවත් වාහනයක් පසු කර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියේ පිටුපස ගැටී ඇති බව පොලීසිය පැවසුවා.

අනතුරට සම්බන්ධ මෝටර් රථය සිය භාරයට ගෙන ඇති කරුවලගස්වැව පොලීසිය එහි රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් nethnews.lk රතන හිමිගෙන් කළ විමසීමකදී ස්වාමීන්වහන්සේ සඳහන් කළේ,

"ස්වාමීන්වහන්සේලා සිව්නමක් සහ තවත් ගිහියන් කිහිපදෙනෙකු සමග අනුරාධපුරේ ආගමික කටයුත්තකට ගිහින් එනකොට තමයි මේ සිද්ධිය වුණේ. අපේ වාහනය යම් වේගයකින් ආවා..ඒත් අධික වේගයකින් නෙමෙයි. කාන්තාවක් පැදවූ යතුරුපැදියක් එකවරම මාර්ගයට පිවිසි අවස්ථාවකදී තමයි මේ අනතුර වුණේ. අපි ගොඩක් බය වුණා ඒ කාන්තාවට ලොකු අනතුරක් සිදු වෙලාද කියලා.. වාසනාවකට වගේ එහෙම සිද්ධියක් වුණේ නැහැ. ඒත් අපි ඒ කාන්තාව රෝහල වෙත රැගෙන ගියා. පොලිසියට ගිහින් රියදුරා කටඋත්තරය ලබා දෙන අවස්ථාවේ මම ගියා රෝහලට ඒ කාන්තාවගේ තත්ත්වය විමසන්න. කාන්තාවගේ බෙල්ලේ සහ දනහිසෙන් පහළ යම් තුවාල සිදු වෙලා තියෙනවා. වෛද්‍යවරු ප්‍රතිකාර කරනවා."