Wednesday, April 24, 2024

General line - 0115112241

වකුගඩුවක් ඉල්ලා සෞදියේ සිරකර සිටින ගෘහසේවිකාව හාම්පුතා සමග පොලිසියට ඇවිත්




සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක එම නිවසේ රඳවාගෙන සිටින බවත්, නිවසේ හාම්පුතා විසින් ඇගේ වකුගඩු ඉල්ලා සිටින බවත් සඳහන් වන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරලගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ පරීක්ෂනයක් සිදු කර ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

2 කණුව, කණ්ඩලම පාර, දඹුල්ල යන ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති නැමැති මෙම කාන්තාව සෞදි ආරාබියේ ගෘහසේවිකාවක් ලෙස සේවය කරනවා.

මේ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීම්වලදී අනාවරණය වූයේ ඇය 2015-03-04 වන දින සෞදියේ ගෘහසේවිකාවක් ලෙස විදේශ ගතවී ඇති බවයි.  ඇයගේ ගිවිසුම් ගත රැකියා කාල සීමාව ඉක්මවා  මාස 2කට ආසන්න වන අතර ඇයව දිවයිනට ගෙන්වා දෙන ලෙස ඇයගේ මව විසින් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුරුණෑගල පළාත් කාර්යාලයට 2017-04-25 වන දින පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන් කටයුතු කර ඇති බවත්, මේ සම්බන්ධව සෞදි තානාපති කාර්යාලයද දැනුවත් කර ඇති බවත් සඳහන්.

අද (22) දින රියාද්හි තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ඩබ්.එම්.එස්.පී. ඉලංගකොන් සහ භාෂා පරිවර්තක නිළධාරියෙකු රියාද්හි ධර්රිහා පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර එහිදී ඉන්ද්‍රකාන්ති සහ ඇය සේවය කරන නිිවසේ හාම්පුතාද පැමිණ තිබෙනවා. මේ වන විට තානාපති කාර්යාලය නිිළධාරීන් විසින් ඉදිරි පරීක්ෂණ කටයුතු රියාද්හි ධර්රිහා පොලිසිය සමඟ එක්ව සිදු කරන අතර, ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු සිදු කරමින් සිටිනවා.

මීට අමතරව ඉන්ද්‍රකාන්ති ගෘහසේවිකාවගේ පවුලේ සමාජිකයින් පිලිබඳ සොයා බලා වාර්තාවක් ලබා දෙන මෙන් දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිළධාරීන් හටද උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම මෙම ගෘහසේවිකාව විසින් 2013 වසරේ සහ 2015 වසරේ විදේශ ගත වීමේදී ලබා දී ඇති පෞද්ගලික තොරතුරු පරස්පර විරෝධී වන අතර, ඇය විසින් ව්‍යාජ තොරතුරු සපයා දී ඇති බවත් විමර්ෂනවලදී අනාවරණය වී තිබෙනවා.