Thursday, April 25, 2024

General line - 0115112241

ආගමික සිද්ධස්ථාන වලට එල්ල වන ප‍්‍රහාර සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශනය කරන්න - ඇමරිකාවෙන් පණිවුඩයක්




ඕනෑම ආගමික සිද්ධස්ථානයකට එල්ල වන ප‍්‍රහාර සම්බන්ධයෙන් ලක් රජය විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බව අමෙරිකාව අවධාරණය කරනවා.       

ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ එවැනි නින්දිත ක‍්‍රියා තම රජය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි. 

කුරුණෑගල මල්ලවපිටිය ප‍්‍රදේශයේ ආගමික සිද්ධස්ථානයකට ඉකුත් ඉරිදා අළුයම පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා. 

එමෙන්ම ඊට පෙර දින බණ්ඩාරවෙල හීල්ඔය ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකටද කිසියම් පිරිසක් පහර දී තිබුණා. 

ගෙවී ගගිය සතිය ඇතුළත එවැනි සිද්ධින් 03ක් ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වූ බවයි අතුල් කේෂප් පෙන්වා දෙන්නේ. 

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් රජය කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවත් ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා අවධාරණය කරනවා. 

මේ අතර, ආගමික සිද්ධස්ථානවලට පහර දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. 

අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු ආරක්ෂක ප‍්‍රධානීන් අරලියගහ මන්දිරයට කැඳවා අග‍්‍රාමාත්‍යවරයා ඔවුන්ට මෙලෙස උපදෙස් ලබා දි ඇති බවයි වාර්තා වන්නේ. 

ඉකුත් දින කිහිපයේ සිදු වූ එවැනි සිද්ධින් පිලිබඳ කඩිනම් වාර්තවක් තමන්ට ලබා දෙන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.