Friday, March 29, 2024

General line - 0115112241

කේ පී යළි හඬ අවදි කර යුද්ධය ගැන මතක් කරයි (VIDEO)




එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අංශ නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී සමග සිදු කරන ලද සාකච්ඡාවක් විදෙස් වෙබ් අඩවියක වාර්තා කර තිබෙනවා.

එම සාකච්ඡාවේදී කේ.පී විසින් පසුගිය යුද සමයේදී සහ ඊට පසු සිදුවූ කරුණු රැසක් පිළිබඳව අනාවරණයක් සිදු කර තිබෙනවා.

අදාළ සාකච්ඡාව සමග එක්වෙමින් කේ.පී සඳහන් කර ඇති අදහස් පහතින් දැක්වෙයි,

"ප‍්‍රභාකරන් ඝාතනය කළාට පස්සේ මාව එල් ටී ටී ඊ එකේ නායකයා විදිහට හැඳුන්වන්න ගත්තා. එහෙම කලේ මාධ්‍ය විසින්. ඒක කණගාටුදායකයි. මාව අත්අඩංගුවට ගත්තේ මැලේසියා බුද්ධි අංශය විසින්. මාව ලංකාවට ගෙනාවට පස්සේ මට හිතුනා එක වෙලාවක මාව මරයිදෝ කියලා. ඒත් මට පස්සේ ඒ හැඟීම වෙනස් වුණා. 

මම කවදාකවත් තුවක්කුවක්වත් අතින් අල්ලල නෑ. මම කාවවත් මරලත් නෑ... ඒත් යුද්ධය හින්දා ළමයි ගොඩක් පීඩාවට පත්වුණා. මම දැන් යුද්ධය හින්දා පීඩාවට පත්වෙච්ච ළමයි එක්ක කාලය ගත කරනවා. සමහර ළමයින් යුද්ධය නිසා මානසික පීඩාවට පත්වෙලා ඉන්නේ. ඔවුන්ට උදව් කරනවා. 

මට දැන් ගොඩක් වයසයි. ඇත්තටම අතීතය ගැන මං කණගාටු වෙනවා. යුද්ධය හින්දා ගොඩක් අයට ජීවිත නැති වුණා. අනාගතය, අධ්‍යාපනය නැති වුණා. පවුල් නැති වුණා. සමීප හිතවතුන් නැතිවුණා. දෙමාපියන්, දරුවන් නැතිවුණා. මමත් ඒකෙ කොටස්කරුවෙක්. මට ඒ ගැන වරදකාරී හැගීමක් තියෙන්නේ. ඒ හින්දයි මං මේ ළමයි එක්ක වැඩ කරන්නේ. මම දවසින් දවස මේ ළමයි එක්ක වැඩ කරල ඒ හැඟීම අඩුකර ගන්නවා. 

හැමෝටම ප‍්‍රශ්ණ තියෙනවා. ගැටළු තියෙනවා. ඒක මනුෂ්‍ය ස්වභාවය. අපි මිනිස්සුන්ට ආදරය කළ යුතුයි. හැම ආගමකම තියෙන්නේ හොඳ දේවල්. කවුරුත් කියල නෑ මිනිස්සුන් මරන්න කියල. ත‍්‍රස්තවාදයෙන් හෝ මිනිස්සු මරලා හෝ ලබා ගන්න පුළුවන් දෙයක් නෑ. අපි අළුත් පරපුරට අවස්ථාව දෙන්න  ඕනේ.

ශ‍්‍රී ලංකාව කියන්නේ සුන්දර රටක්. මේ රටේ ප‍්‍රශ්ණ විසඳගන්න, රටේ සාමය පවත්වාගෙන යන්න අපි කටයුතු කරන්න ඕනේ.

ශ‍්‍රී ලාංකිකයින් විදිහට එකට වැඩකරලා අනාගත පරපුරට රට දායාද කරන්න අපි කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව ආයුධ අතට අරන් මේක කරන්න බැහැ."