Friday, April 26, 2024

General line - 0115112241

පොළොන්නරුවේ මාරයා 13 වැනි අලි බිල්ලත් ගනී - මස් රසටත් අලියා හුරු වෙලා (PHOTOS)




අලි ඇතුන් යනු මෙරට වාසය කරන වනජීවීන් අතර වැඩිම ආකර්ෂණයක්‌ දිනාගත් සත්ත්ව විශේෂය බවට සැකයක්‌ නැත. ඒ සඳහා කරුණු කිහිපයක්‌ හේතු වී තිබෙනවා. අලියා යනු ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා වන අතර බුද්ධිමත් සතෙක්‌ ද වනවා. එසේම ඔවුන් ගේ බුද්ධිය හා සමාජශීලී හැසිරීම ඔවුන් කෙරෙහි ඇති ආකර්ෂණය තවත් වැඩි කරනවා.

එහෙත් මේ වන විට පොළොන්නරුව ආශ්‍රිතව වෙසෙන අලින්ට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමකි. මීට වසර 10 කට පමණ පෙර මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කසල ප්‍රතිචක්‍රිකරණ වැඩසටහන මෙම අලින්ගේ මාරයා බවට පත්වී ඇති බවයි වනජීවි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

අක්කර තුනක මෙම කසළ ප්‍රතිචක්‍රිකරන මධ්‍යස්ථානය මේ වන විට අඩපණ වී ගොස් ඇති අතර ඒ හේතුවෙන් මනම්පිටිය ජලනිම්න ජාතික වනෝද්‍යාන භූමියේ අක්කර 10 ක පමණ වපසරියක් මේ වන විට පොළොන්නරුවේ කැළි කසලවලින් වැසී ගොස් තිබෙනවා.

කැළි කසල මධ්‍යස්ථානය වට කර ඉදිකර තිබූ විදුලි වැටද විනාශ වී ගොස් ඇති බැවින් මේ වන විට කැළි කසල ආහාරයට ගත් 13 වැනි අලියාද අකාලයේ මෙම කැළය හැර ගිහින්.

ගහ කොළ ආහාරයට ගන්නා අලියා අද වන විට මෙම කුණු කසල සමග ඇති සියලු මාංශ වර්ගද ආහාරයට ගැනීමට පුරාදු වී සිටිනවා. අලියා යනු රසට වඩාත් සංවේදී සත්ත්වයෙකු නිසා වරක් මෙම කසල ගොඩට පැමිණි අලියෙකු යළි එය හැර නොයන තත්ත්වයක් උදා වී තිබෙන අතර එය අවසන් වන්නේ එම සද්ධන්තයාගේ මරණයෙනි.

පොළොන්නරුව නගරයේ කැළි කසල මෙන්ම වැසිකිළි අපද්‍රව්‍ය පවා විශාල වශයෙන් මෙම පරිසර පද්ධතියට මුදා හැරෙනවා. මේ අවට ගම්මාන රැසක ජනතාවද මෙම තත්ත්වය තුළ ජීවත් වන්නේ පීඩාවන් රැසක් මධ්‍යයේයි. උස් ස්ථානයක පිහිටා ඇති මෙම කසළ බැහැර කිරීමේ ස්ථානයේ ඇති කසල වර්ෂා කාලයේදී පහළට ගලා එන්නේ එම ජනතාව ජීවත්වන ගම්මාන මැද්දෙන්.

අවසන් වශයෙන් මිය ගිය අලියාගේ උදරයේ තිබී වනජීවි නිලධාරීන් ඉවත් කළ පොලිතීන් ප්‍රමාණය කිලෝ 25 ක් පමණ වනවා. පොලිතීන් උදරයේ සිරවීම හේතුවෙන් තව දුරටත් ආහාර ලබා ගැනීමට අපහසුවීම තුළ ඇති වූ තත්ත්වයන් නිසා මෙම අලියා මිය ගිය බවයි ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය සමීර කලිගු සඳහන් කළේ.