Tuesday, April 23, 2024

General line - 0115112241

"මොරා" සුළි කුණාටුව තවදුරටත් ඈතට - වැසි තත්ත්වය ගැන පැහැදිළි කිරීමක්




මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින "මොරා" සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 24 තුළ වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර පැවසුවේ.

අද දිනයේ, විවිධ ප‍්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනයන් පිලිබඳව නෙත් නිවුස් විමසා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ‍්‍රීමාල් හේරත්ගෙන්.

එහිදී පැවසුවේ අද දහවල් වන විට වැඩිම වර්ෂාපතනය ලැබී තිබුණේ මහනුවර ප්‍රදේශයෙන් බවයි. ඉන් අනතුරුව රත්නපුර සහ ගාල්ල ප්‍රදේශවලින් වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති බවත් සඳහන් කළා.

මේ අතර, කළු, ගිං, නිල්වලා සහ කැළණි ගඟේ ජල මට්ටම ක‍්‍රමයෙන් අඩු වෙමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී පී අල්විස් පැවසුවේ ජල මට්ටම අඩුවෙමින් පැවතියද කළු, ගිං සහ නිල්වලා යන ගංගා තවමත් මහා ගංවතුර මට්ටමක පවතින බවයි. 

බොල්ගොඩ ගඟේ පනාපිටිය වේල්ල සහ බද්දේගම ප‍්‍රදේශයේ ගංවතුර ආරක්ෂිත බැම්ම කැඩී යාමේ අවධානම මේ වන විට පහව ගොස් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී පී අල්විස් සඳහන් කළා.