Thursday, April 25, 2024

General line - 0115112241

බසයේ නින්ද ගිය තරුණයෙක් හීනෙන් බැහැලා බරපතල තුවාල ලබයි - මතකයත් අමතක වෙලා




වේගයෙන් ධාවනය වෙමින් තිබු බස් රථයකින් නින්දෙන් බිමට බැස ඇති තරුණයකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තුවාලකරු ලග්ගල රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට අද (31) අලුයම මාරුකර යවා තිබෙනවා.

ලග්ගල රෝහලේ කාර්ය මණ්ඩලය දඹුල්ල රෝහලට ගෙනා මෙම රෝගියා ගැන විස්තර ලබාදී ඇත්තේ බස් රථයේ අසුනක වාඩි වී ගමන් කරමින් සිටියදී සිහිනයෙන් ඇවිද ගොස් එකවරම ධාවනය වන බස් රථයෙන් බිමට බැස ඇති බවයි.

දඹුල්ල රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ අම්පාර සිට දඹුල්ල බලා ධාවනය වෙමින් තිබු බස් රථයකට මෙම පුද්ගලයා ගොඩවී ඇති බවත් ඔහු ගැන වැඩි දුර තොරතුරු ලබාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

ශරීරයට දැඩි තුවාල සිදුවී ඇති මොහුට මතකය නොමැති තත්ත්වයකට පත්ව තිබෙන බවත් ඔහු වයස අවුරුදු 33 ක් පමණ වන අයෙකු බව ද සඳහන් කෙරුණා. හදිසියේ ඇති වූ අනතුර නිසා මෙම තරුණයා කම්පනයට පත්ව ඇති බවයි රෝහල් බලධාරීන් පෙන්වා දෙන්නේ.

ගාමිණි කුමාරසිංහ බවට ප්‍රකාශ කරන  මොහුගේ අනන්‍යතාව තවමත් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

අනතුර පිළිබඳව ලග්ගල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.