Friday, March 29, 2024

General line - 0115112241

රට තුළ මතුවන ආගමික ගැටුම් නවතන හැටි ජනපති කියයි




රට තුළ මතුවන ආගමික ගැටුම් වැලැක්වීමට නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීම සේම එම ගැටුම් ඇති කර ගන්නා පාර්ශ්ව සඳහා කරුණු පැහැදිලි කර දීමේ පොදු වැඩපිලිවෙලක අවශ්‍යතාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

ඒ සඳහා සියලු ආගමික නායකයින් එකම වේදිකාවට පැමිණිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

රට තුළ අසමගිය වපුරන ජාතික සහ ආගමික ගැටුම් සඳහා ඉඩ ලබා දිය නොහැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී අනතර් ආගමික උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

රට තුළ මතුවන ආගමික ගැටළු පිළිබඳ ඒ ඒ දිස්ත‍්‍රික්ක මට්ටමින් අවධානය යොමු කරමින් කටයුතු කිරීමට දේශපාලඥයින්ගෙන් සහ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම කමිටුව වඩාත් සක‍්‍රිය ලෙස ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළා. රට තුළ මතුවන ජාතික සහ ආගමික ගැටළුවලදී මධ්‍යස්ථව සහ අපක්ෂපාතීව කටයුතු කිරීම සියලු දෙනාට වගකීමක් පැවරෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.