Friday, March 29, 2024

General line - 0115112241

වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම සලකා බලන්න දින දෙයි (UPDATE)




සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට අභියෝගයට ලක් කරමින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ලබන 22 වන දින සලකා බැලීමට අද (01) දින නියම කෙරුණා.

ඒ, අදාළ පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ප‍්‍රමුඛ තිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණු අවස්ථාවේදීයි.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කළ සිසුන්ට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට හැකියාව ඇති බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

පෙත්සම සම්බන්ධයෙන් මැදිහත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම ද ලබන 22 වන දින සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. 

මේ අතර රට තුළ මතු වූ හදිසි ආපදා තත්වය හේතුවෙන් කල් දැමූ සයිටම් විරෝධි සටන ලබන 07 වනදායින් පසු ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

-------------------------------

වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම අද විභාග වෙයි

(2017-06-01 09:19)

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචනා පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

ඒ, අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට කිසිඳු බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.