Thursday, April 25, 2024

General line - 0115112241

පාහියන්ගල අවධානම ගැන බහු විෂයික වාර්තාවක් කැඳවයි (PHOTOS)




නායයාමේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික පාහියන්ගල ලෙන පිළිබඳ බහු විෂයික වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ, ඊයේ (04) පාහියන්ගල වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා එම පරිශ්‍රය වෙත ගොස්, අදාළ විෂයභාර විද්වතුන් සහ නිලධාරීන් සමඟ සිදුකළ තොරතුරු විමසා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව පුරාවිද්‍යා, ඉංජිනේරු, වාස්තුවිද්‍යා, භූ ගර්භ විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර රැසක විද්වතුන් සම්බන්ධ කරගනිමින් අදාළ වාර්තාව කඩිනමින් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම නායයාමේ අවදානම හේතුවෙන් අසල විහාරස්ථානයේ වැඩවසන තිස් නමකට ආසන්න භික්ෂූන් වහන්සේගේ ජීවිතාරක්ෂාව පිළිබඳ අවදානමක් මතුව තිබෙනවා.

අදාළ අංශ විසින් මේ පිළිබඳ අනතුරු අඟවා ඇති බැවින් උන්වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් තාවකාලික ආවාසයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනට උපදෙස් ලබා දී තිබෙනවා.

වසර 58000 ක ප්‍රාග් ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල් ලෙන ලෙස ප්‍රකටව ඇති ඓතිහාසික පාහියන්ගල අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර දීම ජාතික වගකීමක් වන බවත්, විශේෂයෙන්ම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විශාල පිළිගැනීමක් ඇති, සංචාරක, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක වටිනාකමින් ද යුත් මෙම ‍‍ස්ථානය ආරක්ෂා කරගැනීම සම්බන්ධව පූර්ණ අවධානය යොමු කර අදාළ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ යුතු බවත්,  අමාත්‍යවරයා අවධාරණය කළා.