Thursday, March 28, 2024

General line - 0115112241

ආපදා හමුවේ නාවික හමුදාවේ වීර ක්‍රියා අගයයි (PHOTOS)




ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ සියළු නාවික පුද්ගලයින් හට ඔවුන් දක්වන ලද මෙහෙවර නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇගයීමට ලක් කළා.

අද දින (05) උදෑසන කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයේදී ඔවුන් වෙත සහතිකපත් හා පදක්කම් ප්‍රදානය සිදු කෙරුණා. 

මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඇමතූ නාවික හමුදාපති ආපදාවන්ගෙන් විපතට පත් ජනතාව බේරා ගැනීමේ වීර ක්‍රියාවන් සිහිපත් කරමින් අදහස් පළ කළා.

තවදුරටත් කරුණු ඉදිරිපත් කළ නාවික හමුදාපති, දශක තුනක් තිස්සේ මව්බිම බේරා ගැනීම වෙනුවෙන් නාවික හමුදාව කළ දායකත්වය ද අගය කළා. මහජනතාවගේ ඕනෑම ව්‍යසනයකදී හෝ හදිසි ආපදාවකදී ඒ වෙනුවෙන් නාවික හමුදාවේ මෙහෙවර, කැපවීම පිළිබඳව පැහැදීමක් ඇති බවත් සඳහන් කෙරුණා.

ගංවතුරින් සහ නායයෑම්වලින් විපතට පත් දහස් ගණන් වූ ජනතාව මුදා ගැනීමේ සහ සහන සැලසීමේදී දක්වන ලද කැප කිරීම සම්බන්ධයෙන් රන්, රිදී සහ ලෝකඩ යන පදක්කම් ප්‍රදානය කිරීම ඉන් අනතුරුව සිදු ‍කෙරුණා.

ආපදා සහ විපතට පත් වූවන් වෙනුවෙන් ක්ෂණිකව ක්‍රියාත්මකවීම තුළින් සිදු වන්නට තිබූ විශාල විපත් අවම කර ගැනීම මගින් නාවික පුද්ගලයන්ගේ කැපවීම තව දුරටත් මැනවින් පැහැදිළි වූ බවයි වැඩි දුරටත් පැවසුනේ. 

එක් එක් අංශයන් විසින් සිදු කරන ලද සේවය වෙන් වෙන්ව ඇගයීමට ලක් කරමින් ඒ සඳහා විශේෂ සහතිකපත් සහ ත්‍යාගයන් ප්‍රධානය කළ අතර, එම අංශයන් අතර ක්ෂණික විහිදුම් බලඝනය, මැරින් බලකාය, කිමිදුම් සහ නාවික, ‍වෛද්‍ය ඉංජිනේරු සහ සැපයුම් යන අංශයන් වුණා. 

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සිරිමෙවන් රණසිංහ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිල් රොසයිරෝ, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා, අධ්‍යක්ෂ ජෙනරාල් වෙරළාරක්ෂක රියර් අද්මිරාල් සමන්ත විමලතුංග, බටහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අදිමිරාල් නිරාජ ආටිගල, දකුණු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වී සිටියා.