Thursday, March 28, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ වාර්තාගත ජයග්‍රහණයෙන් නවසීලන්තය ගෙදර යයි




අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ, ඊයේ පැවති තරගයෙන් නවසීලන්තය කඩුලූ 5 කින් පරාජය කරමින්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලූ 8 ක් දැවි ලකුණු 265 යි. රොස්ටේලර් ලකුණු 63 ක් සහ නායක කේන් විලියන්සන් ලකුණු 57 ක් රැස් කළා. පන්දු යැවීමේදී මොසඩැක් හුසේන් ලකුණු 13 කට කඩුලූ 3 යි.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශය පන්දුවාර 47 යි පන්දු දෙකක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 268 ක් රැස් කර ගනිමින් ජයග‍්‍රහණය වාර්තා කළා. කණ්ඩායමේ පළමු කඩුලූ 4 ලකුණු 33 ක් තුළ බිද වැටුණු අතර කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේ ෂකීබ් අල් හසන් සහ මහමුදුල්ලා ගොඩනැගූ වාර්තාගත සබදතාවයි. ඔවුන් දෙදෙනා 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 224 ක සබදතාවක් ගොඩනැගුවා. එය බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙකු  ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබදතාවයි. එමෙන්ම ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ පස්වන කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ තුන්වන ඉහළම සබදතාවද මෙය වනවා. 

තරගයේ වීරයා සම්මානය දිනාගත් ෂකීබ් අල් හසන් ලකුණු 114 යි. මහමුදුල්ලා නොදැවී ලකුණු 102 ක් රැස් කළා. 
මෙම ජයග‍්‍රහණයත් සමග නවසීලන්තයට ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් තබාගැනීමට බංග්ලාදේශයට හැකි වුණා. බංග්ලාදේශයේ ඉරණම තීරණය කෙරෙන තරගය පැවැත්වෙන්නේ අද දිනයේයි. ඒ, එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතරයි. එංගලන්තය දැනටමත් ඉදිරි වටයට සුදුසුකම් ලබා අවසන්. ඒ අනුවම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තබාගැනීමට නම්  ඕස්ටේ‍්‍රලියාව මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා. තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත්වුවහොත් බංග්ලාදේශය තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනවා.